/
/
title icon කොරියානු සමාජය සහ සුරූපී බව.
කොරියානු සමාජය සහ සුරූපී බව.
Wasana Wickramasingha
2 months ago
Share:
කොරියානු සමාජය සහ සුරූපී බව.

ශරීරයේ බාහිර පෙනුම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ජනතාවක් වෙසෙන රටක් ලෙස දකුණු කොරියාව හඳුනාගත හැක. කොරියානු සංස්කෘතියේ එන සුන්දරත්වයේ සම්මතයන්ට (Korean Beauty Standards) අනුව තම රූපය පවත්වා ගැනීම හරහා තරුණ තරුණියන්ට ඉහළ සමාජ පිළිගැනීමක් සහ ආකර්ශනයක් එරටදී හිමි වේ. "යහපත් ආත්මයකට ජීවත් විය හැක්කේ ආකර්ෂණීය ශරීරයක් තුළ පමණක් ය" යන විශ්වාසය ද ඔවුන් තුළ අතීතයේ සිට ම පවතී.2015 වසරේ සිදු කළ ගෝලීය සමීක්ෂණයකින් ද අනාවරණය වී ඇත්තේ රූපලාවන්‍ය සැත්කම්වලට වැඩි වශයෙන් යොමු වන්නන් සිටින රටවල් අතර ප්‍රමුඛස්ථානයේ දකුණු කොරියාව ද සිටින බවයි.

කොරියානු සමාජ පිළිගැනීමට අනුව කාන්තාවකගේ තරුණ පෙනුමට, දීප්තිමත් සමට (Glass Skin), සමෙහි ඒකාකාරී වර්ණයට, සිහින් සහ උස සිරුරට,කුඩා මුහුණට, සෘජුව පිහිටි ඇහි බැමට , නිරෝගී කේශ කලාපයට, විශාල දෑස් වලට සහ දිගු දෙපාවලට හිමි වන්නේ වැඩි වටිනාකමකි. මෙම සම්මතයන්ට අනුකූල නොවන තරුණියන්ට එම වටිනාකම අහිමි වී යයි. K pop , K drama සහ සන්නිවේදන මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය වන වෙළෙඳ දැන්වීම් මගින් සිදුකර ඇති සමාජ පෙළඹවීම ද මෙම තත්ත්වයට මූලික හේතුවක් වී ඇත.කොරියානු ටෙලි නාට්‍යයන්ට සම්බන්ධ කර ගන්නා නළු නිළියන් ද දක්ෂතාවයෙන් පමණක් නොව පෙනුමින් ද ඉතා ඉදිරියෙන් සිටින පිරිසකි. සාමාන්‍ය කොරියානු තරුණ ප්‍රජාව ද ඔවුන්ව අනුගමනය කිරීමට නිරායාසයෙන් ම පෙළඹේ.කොරියානු යුවතියන්ගෙන් බහුතර පිරිසක් රූපලාවන්‍ය සැත්කම් සඳහා යොමු වන අතර ප්ලාස්ටික් සත්කම්වලට පවතින්නේ ඉහළ නැඹුරුවකි.රූපලාවන්‍ය සැත්කම් සම්බන්ධයෙන් දකුණු කොරියාව ප්‍රමුඛස්ථානයේ සිටී.ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය ම තම රූපය කෙරෙහි දැඩි අවධානයක් දක්වන්නේ,එසේ නොකිරීම ඔස්සේ එල්ල විය හැකි සමාජ පීඩනය අවම කර ගැනීමට ය. රැකියාවකට බඳවා ගැනීමේදී පවා බාහිර පෙනුම පිළිබඳව වැඩි අවධානයක් යොමු වේ.

කොරියානු රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම් වෙනුවෙන් මූල්‍ය ආයෝජන ද නිරන්තරයෙන් සිදුවේ. මේ වන විට කොරියාවේ නිෂ්පාදිත රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ගෝලීය වශයෙන් වැඩි ඉල්ලුමක් පවතී.ඒ අනුව ගෝලීය රූපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොලේ කොරියානු නිෂ්පාදන සඳහා හිමිව ඇති වටිනාකම ඩොලර් බිලියන 12 ඉක්මවයි.කොරියාව එය 2032 වර්ෂය වන විට ඩොලර් බිලියන 25 දක්වා ඉහළ නංවා ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරයි.දකුණු කොරියාවේ බහුලව නිෂ්පාදනය වන රූපලාවන්‍ය ද්‍රව්‍ය අතර ලප කැලැල් ඉවත්කරන ආලේපන, සම සුදු කරන ආලේපන සහ ස්වභාවික ද්‍රව්‍ය අනුසාරයෙන් සැකසූ නිෂ්පාදන ඉතා ප්‍රසිද්ධ ය.බොහෝ විට එරට නිෂ්පාදනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා අනෙකුත් රටවල්වල භාවිතා නොකරන ආකාරයේ අමුද්‍රව්‍ය යොදා ගැනේ.

කොරියාවේ පිරිමි පුද්ගලයන්ගෙන් බහුතරයක් දිනපතා ම සරල  "මේකප්" භාවිතයට ගනී. උත්සව අවස්ථා සඳහා එය අනිවාර්ය අංගයකි.කාන්තා පාර්ශ්වය මෙන්ම පුරුෂ පාර්ශ්වය ද ලප කැලැල් රහිත සම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වයි. සම සුරකින රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉහළ ම පිරිවැයක් දරන පිරිමි පුද්ගලයන් සිටින රට කොරියාවයි.K-pop කණ්ඩායම් සාමාජිකයන්ගෙන් බහුතරය ද තම ආකර්ෂණය පවත්වා ගැනීම අරමුණු කරගෙන, රූපලාවන්‍ය සැත්කම් , දැඩි ආහාර පාලන රටා සහ ව්‍යායාම ක්‍රම අනුගමනය කරයි. රූපය ඔවුන්ගේ වෘත්තීය අනන්‍යතාවය සුරක්ෂිත කර ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් මෙන් ම ජනප්‍රියත්වය ඉහළ නංවන ආභරණයකි.

කොරියානු සමාජයේ මෙලෙස සර්ව සම්පූර්ණ යැයි පිළිගන්නා පෙනුම පිටුපස බොහෝ අඳුරු පැතිකඩ ද වේ. රූපය සම්බන්ධයෙන් එකිනෙකා අතර තරගකාරීත්වයක් පැන නැගී ඇති අතර බාහිර සුන්දරත්වය පදනම් කරගෙන පුද්ගල චරිත ස්වභාවය විනිශ්චය කිරීම ද සිදුවේ.සමාජ පිළිගැනීමට අනුව තම සිරුරේ පෙනුම පවත්වා ගැනීමට වෙහෙස වීම නිසාවෙන් එරට බොහෝ තරුණ තරුණියන් කායිකව සහ මානසිකව පීඩා විඳී. එම තත්ත්වය විවිධාකාර රෝග සහ කායික දුර්වලතා ඇති කරවීමට ද සමත්ව ඇත. මෙකී සම්මතයන් මුළු මහත් ලෝකය පුරාම ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඊට සාපේක්ෂව කොරියානු රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා පවතින විදේශීය ඉල්ලුම ද ඉහළට එසවී ඇත.

වාසනා වික්‍රමසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required