/
/
title icon
පිහාටු පන්දු ක්‍රීඩාව හෙවත් බැඩ්මින්ටන්
පිහාටු පන්දු ක්‍රීඩාව හෙවත් බැඩ්මින්ටන්
Presila Sandaruwani
5 months ago
Share:
පිහාටු පන්දු ක්‍රීඩාව හෙවත් බැඩ්මින්ටන්

ලොව මිලියන 709ක පමණ ක්‍රීඩා ලෝලීන් සංඛාවක් වාර්තා කරන ලොව තෙවන ජනප්‍රියත ම ක්‍රීඩාව බැඩ්මින්ටන් වේ. චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ඩෙන්මාකය, එංගලන්තය යන රටවල්වල මෙම ක්‍රීඩාව වඩාත් ප්‍රසිද්ධ වේ. කාන්තා හා පිරිමි මෙන් ම පාසල් මට්ටමින් ද බැඩ්මින්ටන් තරඟාවලි පවත්වනු ලබයි.

ඉතිහාසය

වසර 2000 කට පමණ අතීතයකට හිමිකම් කියන බැඩ්මින්ටන් ක්‍රීඩාවේ මූලයන් පුරාණ ග්‍රීසිය, චීනය හා ඉන්දියාවෙන් සොයා ගත හැක. පුරාණ ක්‍රීඩාව බැට්ල්ඩෝර් සහ ෂටල්කොක් ලෙස හදුන්වා ඇත. 1600 ගණන්වල දී එංගලන්තයේ සහ බොහෝ යුරෝපීය රටවල් තුළ දී බැට්ල්ඩෝර් හා ෂටල්කොක් යන මෙම ක්‍රීඩාව ධනපති පන්තියේ විනෝදාංශයක් වී ඇත. මෙහි දී ක්‍රීඩකයන් දෙදෙනෙකු ෂටල්කොක් එක බිම වැටීම වළක්වමින් සරල පිත්තකින් උපරිම වාර ගණනක් පහර දීම සිදු කරයි. ෂටල්කොක් එක නිර්මාණය කර ඇත්තේ පාත්ත පිහාටු 16ක් හා ග්රෑම් 5ක් පමණ බරැති කුඩා කිරළ අර්ධගෝලයකට සවි කිරීමෙන් ය. එමෙන් ම පුරාණ චීනයේ ‘jinzi’ හා ජපානයේ ‘hanetsuki’ නමින් හඳුන්වා ඇති ක්‍රීඩාවන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට නෑකම් කියනු ඇත. 

නූතන බැඩ්මින්ටන් ක්‍රීඩාව 18 වන සියවසේ මැද භාගයේ බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ ආරම්භ වුවා යැයි විශ්වාස කෙරෙයි. එය ආරම්භ කර ඇත්තේ ඉන්දියාවේ පුනෙයි නගරයේ ස්ථාන ගත කර තිබු බ්‍රිතාන්‍ය හමුදා කඳවුරුවල සිටි බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් විසිනි. 1873 දී මෙම ක්‍රීඩාව එංගලන්තය වෙත ගෙනගොස් ඇති අතර ග්ලොස්ටෂයර් (Gloucestershire) නැමැති ප්‍රාන්තයේ බැඩ්මින්ටන් නමැති ස්ථානයේ දී ක්‍රීඩා කර ඇත. එතැන් සිට මෙම ක්‍රිඩාව බැඞ්මින්ටන් ලෙස හඳුන්වා ඇත.ඉතා ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වීමත් සමග බැඩ්මින්ටන් සමාජයන් බිහිවෙන්නට  ආරම්භ වූ අතර ක්‍රීඩාවේ නීතිරීති ද ක්‍රමයෙන් සම්මත විය. 1877 දී ආරම්භ කරන ලද බාත් බැඩ්මින්ටන් සමාජය ක්‍රීඩාවේ නීති විධිමත් කිරීමෙහිලා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළේය. මෙම සමාජය නවීන බැඩ්මින්ටන් සඳහා අඩිතාලම දැමූ පළමු නිල නීති පොත 1887 දී ප්‍රකාශයට පත් කළේ ය. 1899 දී ආරම්භ කරන ලද සමස්ත එංගලන්ත විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය තරඟකාරී බැඩ්මින්ටන් ක්‍රීඩාවේ උපත සනිටුහන් කළේය. එම තරඟාවලිය පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස පැවැත්විණි. 1904 දී එංගලන්ත හා අයර්ලන්ත අතර ශූරතා තරඟයක් පැවැත් වී ඇත. 

වර්ෂ 1934 දී ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය (IBF - international badminton federation) ආරම්භ කරන ලදි. එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නවසීලන්තය මෙහි ආරම්භක සාමාජිකයන් වූහ. වර්තමානයේ දී මෙය බැඩ්මින්ටන් ලෝක ෆෙඩරේෂනය (BWF) ලෙස හැඳුන්වනු ලබන එම ආයතනය මගින් ලෝකය පුරා රටවල් 159ක් තුළ බැඩිමින්ටන් ක්‍රිඩාව පාලනය කරනු ලබයි. 1948 දී පළමු IBF තරඟාවලිය, එනම් තෝමස් කුසලානය පැවැත්වුණ අතර එය ලෝක පිරිමි කණ්ඩායම් ශූරතා ලෙස ද හැඳින්විණි. ඊට පසු, Uber කුසලානය කාන්තා කණ්ඩායම් සදහා ද , සුදිර්මාන් කුසලානය මිශ්‍ර කණ්ඩායම් සදහා ද පැවැත්විණි. බැඩ්මින්ටන් ක්‍රීඩාව 1972 ඔලිම්පික් උළෙලේ ප්‍රදර්ශන ක්‍රීඩාවක් ලෙස ඇතුළත් වූ අතර 1992 ස්පාඤ්ඤයේ  බාර්සිලෝනා ඔලිම්පික් උළෙලේ දී නිල ඔලිම්පික් ඉසව්වක් බවට පත්විය. වර්තමානයේ බැඩ්මින්ටන් ක්‍රීඩා වර්ග ගණනාවක් ද හඳුනා ගත හැක. කේවල බැඩ්මින්ටන් (Singles Badminton), ද්විත්ව බැඩ්මින්ටන් (Doubles Badminton), මිශ්‍ර යුගල (Mixed Doubles), ශාරීරික දුබලතා ඇති අය සඳහා පැරා බැඩ්මින්ටන් (Para-Badminton) ආදි වශයෙන් ක්‍රීඩාවේ විවිධ ඉසව් පවත්වනු ලබයි.

ක්‍රීඩා පිටිය

බැඩ්මින්ටන් ක්‍රීඩාව සුළඟේ බලපෑම නිසා සමාන්‍යයෙන් ගෘහස්තව සිදු කරන අතර ක්‍රීඩා පිටියේ බිම ලෑලිවලින් ද ඇතුළත බිත්ති කොළ වර්ණයෙන් ද සකසනු ලබයි. ආලෝකය සඳහා ප්‍රතිදීප්ත විදුලි පහන් යොදා ගනු ලබයි. ඍජුකෝණාස්‍රාකාර පිටියක් වන මෙහි දිග මීටර් 13.4ක් ද පළල මීටර් 6.1 වේ. පිටියේ සිටවන කණු මීටර් 1.56ක් උස් වේ. දැල කණුවක සිට අනෙක් කණුව දක්වා විහිදෙන අතර එහි පළල අඩි 2ක් අඟල් 6කි. 

නීති රීති (මූලික)

ෂටලය උඩ නොදමා අතේ තබා ගනිමින් පිරිනැමීම කළ නොහැක. ෂටලයට පහර දිය යුත්තේ ඉනට පහළිනි. පිරි නැමීමේ දී ඉරි පෑගීම ද තහනම් වන අතර පාද ඇදීම හෝ ඉස්සීම ද කළ නොහැක. පිරිනමන්නා හා පිරිනැමීම ලබා ගන්නා දෙදෙනා ම නීති විරෝධී වූ විට හෝ ෂටලයට හානි වූ විටක හෝ නැවත පිරිනැමීමකට අවස්ථාව ලැබේ. තම පිළේ සමාජිකයකු වැරද්දක් කළ විට පිරිනැමීමේ අවස්ථාව ප්‍රති පිළට හිමි වේ. තරඟ වට දෙකක් අතර විනාඩි 2ක විවේක කාලයක් හිමි වේ. නැවත අලුත් තරඟයක් ආරම්භ කරන්නේ නම් විවේක කාලය විනාඩි 20ක් හිමි වේ. ලකුණු 21කින් තරඟ නිමා වන අතර සමාන ලකුණු හිමි වූ විටක දී තව එක් ලකුණක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.

ප්‍රසිලා සඳරුවනි.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required