"උනුන් කොටවලා උගුල් අටවලා - රජ වෙති මගේ උන් හැමදාමත්
මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් - ගැන බැලුවේ නෑ කවදාවත් "
සුනිල් ආරියරත්නයන් කලකට ඉහත රචනා කරන ලද "අවුරුදු දෙදහස් පන්සියයක්" ගීතය වර්තමාන සමාජය වැටී ඇති අගාදය කදිමට නිරූපණය කරයි. මැතිවරණ කාලයට පමණක් සංවේදී වන දේශපාලන හිත් වසර ගණනාවක් තිස්සේම කම්කරුවාගේ රීරි මාංශය උරා බී ඇත. සුවපහසු පුටු රත් කර හිඳ මැතිවරණ කාලයට පමණක් දුගී පැල්පතේ සුවපහසුව විනිශ්චය කරයි. දුගී පැල්පතේ කහට කෝප්පයේ රස බලා අත්ල ලෙවකා සීනි අහුරේද රස හොයයි. ඉර දෙන්නම් හඳ දෙන්නම් යැයි බලාපොරොත්තු කන්දක් ජනයාගේ හිස මත පොදි බැන්දද එය ක්ෂණයකින් දිය වී යන්නේ හිරු එළියට මුසු වූ අයිස් කැටයක් බඳුය.
ළඟ ළඟම එන ජනාධිපතිවරණයට නොයෙක් ලාංඡන ඔස්සේ අපේක්ෂකයින් තරග වැදීමට සැදී පැහැදී සිටියි.තරග වදින අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාර ගැනීම අගෝස්තු පහළොව සිදුවිය. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරනුයේ දැනටමත් අපේක්ෂකයින් තිස් නමයක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවය.ලෝකයේ දිගම ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය හමුවන්නේ ලංකාවෙනි.ඉන්දියන් සයුරේ මුතු ඇටය බැබළවීමට පොරකන ජනාධිපති අපේක්ෂකයින්ගේ ක්‍රියා කලාපය අනෙකුත් රටවලට හාස්‍යජනකය.බල ලෝභීත්වයට කෑදරව ඔවුන්ගේ තවත් පරම්පරා ගණනාවකට රජ සැප විඳීමට දරන මේ වෑයම පිළිකුල් සහගතය.
මේ රට වසර දෙකකට පෙර පැවතියේ ඡන්දය පැවැත්වීමට තබා මිනිසුන්ට කෙළින් කටින් නැගී සිටීමට පවා අසීරු මොහොතකය.ගෑස් නැත විදුලිය නැත බෙහෙත් නැත බඩු මිල අහස උසටය. එදා වේල හම්බ කරගෙන කන මිනිසාට ඇල් වතුර වීදුරුවක් බී රහසේම නින්දට යන්නට සිදුවිය.දවස් ගණන් පෙට්‍රල් , ගෑස් පෝලිම්වලය.මහ පාන්දර හිස්බඩම හැරමිටි ගහමින් වැඩිහිටි උදවිය රජයේ රෝහලට පැමිණෙන විට එදාට සේවකයෝ වැඩවර්ජනකය.සමහරු බෙහෙත් පෝලිමේ තුණ්ඩුව අතැතිවම මියගොස්ය.කිසිවෙක් වග නොකියන ඒ වෙහෙසකර ජීවිතය අතීතයට දමා අගුළු ලා ඇත.
කොරෝනා කාලයේදී වැක්සින් ගෙන්නන්නට වූ ප්‍රමාදය නිසාම ධම්මික පැනය මිනිසුන්ට පෙවූ, මෙය උතුම් රටකි.වතුකරයේ හොඳම තේ දළු නෙලන්නිය තෝරන්නේ ඇයට ඔටුනු පළඳවන්නට නොව, අඩු වැටුපකට වැඩි ශ්‍රමයක් ලබා ගැනීමටය.ඇති නැති පරතරයට වෙන්වූ රටේ නීතියේ සමබරතාවය ඇතිනා දෙවඟනගේ පිළිරුවේ පමණක් ඇත. බලයට පොරකමින් ඇප මුදල් තැන්පත් කර ජනාධිපතිවීමට දරන මේ වෑයම රටට ආදරයට නොව අසීමාන්තික බලය හා අසීමාන්තික වරප්‍රසාද සඳහා වන කෑදරකම නිසාය.78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළ විධායක ජනාධිපති තනතුරට අසීමිත වරප්‍රසාද එකතු කරන ලද්දේ වර්තමානයේ රට කරවූ පාලකයන් විසින්ය. රටේ ජනතාව දිළිඳුකමින් පීඩා විඳිද්දී පාලකයෝ රජ සැප විඳින්නේ පරපෝෂිතයකු මෙන්ය.
මේ වන විට නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින් දෙස බලන විට පැහැදිලි වනුයේ ලංකාවට නායකත්වය දීමට නුසුදුසු, එමෙන්ම රටේ කුමන හෝ අවස්ථාවක, ගැටලුවකට අවම මැදිහත්වීමක්වත් නොකළ අයයි.මොවුන් අපේක්ෂකයින් ලෙස නාමයෝජනා භාරදීමට පෙළඹීමම රටේ වර්තමාන තත්ත්වය කෙබඳුද යන්න දැකගත හැකිය.රට මේ යන තත්ත්වයට ජනාධිපති වීමට කොල්ලන්ට බල්ලන්ට සියල්ලන්ටම හැකි වනු ඇත.ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සීමා සහිත දොරටුවක් වෙනුවට අසීමාන්තික දොරටුවක් විවෘත වී ඇත.ජනාධිපතිවරණයට මුහුණ දෙන සියලු අපේක්ෂකයින් සඳහාම වැඩි මුදලක් රජය විසින් දැරිය යුතුය. මෙසේ නිරපරාදේ වියදම් වන්නේද මහජනතාවගේ දුක් මහන්සියෙන් හම්බ කරන ලද ජනතා මුදල් ය.
බත් පැකට්ටුවට, අරක්කු බෝතලයට, වියළි සළාක මල්ලට නොරැවටී අනාගතය වෙනුවෙන් වර්තමානයේ තීරණාත්මක විය යුතුය. පාලකයින්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් පීඩා විඳින ඔබත් මමත් බුද්ධිමත්ව සිතමු. දුර්මතයන්ගෙන් වැළකී අනාගත පරම්පරාවට රටේ අභිමානය විදහා පෑමට ළඟ ළඟම එන ජනාධිපතිවරණයට කතිර ලකුණ නිවැරදිව භාවිත කිරීමට කල්පනාකාරී වෙමු.
නවෝද්‍යා ත්යාංගනී .