ලෝකයේ ඇති විවිධ පරිසර පද්ධති අතර චමත්කාර ජනක වූ වෙරළබඩ පරිසර පද්ධතියක් ලෙස කොරල්පර හැඳින් විය හැක. මෙය නිර්මාණය වන්නේ ජෛව ක්‍රියාවලියක් ආශ්‍රයෙනි. ඇතැම් සාගර විද්‍යාඥයින් මේවා මුහුදු වැසි වනාන්තර නමින් ද හඳුන්වනු ලබයි. ලොව කොරල් පර ව්‍යාප්තිය නිරක්ෂයේ සිට අක්‍ෂාංශ 30˚ක් උතුරටත් දකුණටත් විහිදෙන කලාපය තුළ ව්‍යාප්ත වී ඇත. මෙම කොරල් පර ඉතා කුඩා ජීවීන් සමූහයකගේ සැකිලි එකතුවීමෙන් නිර්මාණය වී ඇති අතර එම කුඩා ජීවියා හඳුන්වන්නේ පොලිප් හෙවත් කොරල් බුහුබාවා නමිනි.
පොලිප් ජීවියා
අපෘෂ්ට වංශික ගණයට අයත් කුඩා, මෘදු, විනිවිද පෙනෙන ජීවියෙක් වන පොලිප් ජීවියාගේ ප්‍රජනනය, බිත්තර මගින් හා අංකුර නිපදවීම මගින් එනම් ලිංගික හා අලිංගික යන ආකාර ද්විත්වයෙන් ම සිදු කරයි. මෙසේ උපත ලබන පොලිප් ජීවීයා සාගර ජලයේ පාවෙමින් සිටින අතර දෘඪ මතුපිටක් හමු වු විට එහි තැන්පත් වී සාගර ජලයේ දිය වී ඇති කැල්සියම් කාබනේට් අවශෝෂණය කර ගනිමින් සැකිල්ලක් තනා ගනියි. මෙසේ තනී ජීවියකුගෙන් අරඹන සැකිලි නිර්මාණය එකිනෙකට බද්ධව විශාල ලෙස ව්‍යාප්ත වී නිර්මාණය වේ. පොලිප් ජීවියා මිය ගිය ද නිර්මාණය කරන ලද සැකිලි ඉතිරි වන අතර ඒ සැකිල්ල මත තවත් පොලිප් ජීවීන් වර්ධනය වේ. මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා ආහාරයට ගනුයේ සත්ත්ව ප්ලවාංගයි. සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය සමඟ සහජීවී ලෙස ජීවත් වන පොලිප් ජීවියාගේ නැතහොත් කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතිනුයේ ද මෙම සුසැන්තලය මත ය. මෙම අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරනු ලබන්නේ පොලිප්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන ය. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එමෙන් ම කොරල්වලට සුන්දර, විචිත්‍රවත් වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ මගිනි.
පරිසරයේ සුවිශේෂත්වය
- කොරල් පර නිර්මාණය වන්නේ නිවර්තන හා උපනිවර්තන මුහුදු බඩ ප්‍රදේශවල විශේෂිත පරිසරයක් තුළ පමණි. සාගර ජලයේ උෂ්ණත්වය 22˚c-30˚c අතර පරාසයක පැවතිය යුතු ය. සාගර ජලයේ උෂ්ණත්වය එකවර 2˚c-3˚c කින් පමණ වෙනස් වුවහොත් පරිසර තත්ත්වයන්ට අතිශය සංවේදි පොලිප් ජීවියා විනාශ වී යා හැක. එයට හේතුව වන්නේ උෂ්ණත්වයේ ක්ෂණික වෙනස් වීම පොලිප් ජීවියාට ඔරොත්තු නොදීමයි. මෙසේ පොලිප් ජීවීන් මිය යෑමෙන් සජීවී කොරල් පරය අජීවී තත්වයට පත් වෙයි.
- සාගර ජලයේ ලවණතාවය කොටස් 30-35 අතර නොවෙනස් ව පැවතිය යුතු ය. උෂ්ණත්වයට මෙන් ම ලවණතාවයට ද පොලිප් ජීවීයා සංවේදි වේ. ගංගා මෝය ආශ්‍රිත සාගර කලාපවල කොරල් පර දැක ගත නොහැකි වන්නේ ගංගා මගින් ගලා එන මිරිදිය මගින් සාගර ලවණතාව තනුක කරන බැවිනි.
- එමෙන් ම ජලය පිරිසිදුව පැවතීම ද ඉතාමත් වැදගත් වේ. ජලය අපිරිසිදු, දූෂණය වී ඇති සාගරික ප්‍රදේශ ආශ්‍රිතව කොරල් පර හඳුනා ගත නොහැක. සංචාරක බෝට්ටු මගින් පිටවන තෙල් කාන්දුවීම් නිසා මේ වන විට කොරල් පර අජීවී තත්ත්වයට පත් වීමේ අවධානමක ද පසු වෙයි.
- සූර්යයාලෝකය හොඳින් ලැබෙන නොගැඹුරු සාගර පත්ලවල් ආශ්‍රිතව කොරල් හොඳින් වර්ධනය වේ. ඒ අනුව කොරල් පර හඳුනා ගත හැක්කේ 50m පමණ වන ගැඹුරකින් පමණි. එමෙන් ම සාගර පත්ල පොලිප් ජීවියාට පදිංචි වීමට සුදුසු තත්ත්වයක තැනිතලා හා ස්ථාවර එකක් ව පැවතිය යුතු ය. මන්ද මෙම කුඩා ජිවීයාට සාගර කැළඹුම් සහිත ප්‍රදේශවල ස්ථාවර විය නොහැක.
කොරල් පර වර්ග
- ගැටි පර
මෙය පටු කොරල් පරයක් වන අතර වෙරළට සම්බන්ධ වූ කොරල් වේදිකාවකි. සමාන්‍යයෙන් මෙය වෙරළේ සිට පිටතට ඉදි වේ. මෙම වේදිකාව මදක් අවතල හෝ සමතලා හෝ පෘෂ්ටයකින් යුක්ත වේ. ශ්‍රී ලංකාවේ බහුලව හඳුනා ගත හැකි වන්නේ ගැටි පරයි.
2. බාධක පර
බාධක පර ගොඩබිමට ඉතා ඈතින් පිහිටනු ලබයි. මෙහි දී කොරල් පර තලය හා වෙරළ අතර කලාපයේ ගැඹුරු හා පළල කලපුවක් නිර්මාණය වේ. ලොව ඇති විශාලම බාධක පරය වන්නේ ඕස්ට්‍රේලියාවේ ඇති මහා බාධක පරයයි.
3. අතොල පර
මෙය කලපුවක් වට කරමින් පිහිටා ඇති කවාකාර කොරල් පරයකි. ප්‍රධාන වශයෙන් සාගර මධ්‍යයෙහි පිහිටා ඇත. පැසිෆික් හා ඉන්දියන් සාගර ආශ්‍රිතව බහුලව අතොලු පර දැකගත හැක.
ප්‍රයෝජන
සංචාරක ආකර්ශනය ලබා ගැනීම, විසිතුරු භාණ්ඩ නිර්මාණය, සාගර ජීවීන් බොහෝමයකට වාසස්ථාන සැපයීම, නොගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය සඳහා, පිළිකා, ලියුකේමියා වැනි රෝගවලට ප්‍රතිකාර සඳහා, ඉදිකිරීම් කර්මාන්තය සඳහා අමුද්‍රව්‍ය කොටස් ලබා ගැනීම, තරංග ඛාදනයෙන් වෙරළ ආරක්ෂා කිරීම ආදී බොහෝ ප්‍රයෝජන රැසක් කොරල් පර මගින් ලබා ගනු ලබයි.
ප්‍රසිලා සඳරුවනි.