/
/
title icon ශුෂ්කාධික සහරා කාන්තාරයේ සංචාරයක්
ශුෂ්කාධික සහරා කාන්තාරයේ සංචාරයක්
Presila Sandaruwani
2 months ago
Share:
ශුෂ්කාධික සහරා කාන්තාරයේ සංචාරයක්

සහරා කාන්තාරය හැඳින්වනුයේ ලෝකයේ ඇති විශාලත ම කාන්තාරය වශයෙනි. උතුරු අප්‍රිකාවේ මුළු ප්‍රදේශය ම පාහේ ව්‍යාප්ත වෙමින් එය නැගෙනහිර සිට බටහිරට සැතපුම් 3000 සහ උතුරේ සිට දකුණට සැතපුම් 800 සහ 1,200 අතර ප්‍රමාණයකින් පැතිරී ඇති අතර මුළු වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් 3,320,000 (වර්ග කිලෝමීටර 8,600,000) පමණ වේ. කාලයත් සමඟ කාන්තාරය ප්‍රසාරණය වන අතර සංකෝචනය වන විට සැබෑ ප්‍රදේශයෙහි ප්‍රමාණය වෙනස් වේ. සහරාවට බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද, උතුරින් ඇට්ලස් කඳු සහ මධ්‍යධරණී මුහුදෙන් ද, නැගෙනහිරින් රතු මුහුදෙන් ද, දකුණින් අර්ධ ශුෂ්ක කලාපයක් වන සහේල් ද මායිම් ලෙස පිහිටා ඇත. උතුරට සහ දකුණට තෙතමනය සහිත සැවානා තීරය පවති. සහරාවට මොරිටානියාව, ඇල්ජීරියාව, ලිබියාව, ඊජිප්තුව, මාලි, චැඩ්, නයිජර්, ටියුනීසියාව හා සුඩානය යන රටවල විශාල බිම් කොටස් අයත් වේ.

සහරා යන නම සෑදී ඇත්තේ කාන්තාරය යන අරුත ඇති සහ්රා යන අරාබි නාම පදයෙන් සහ එහි බහු වචන වන ෂහාරා යන්නෙනි. එය කාන්තාරයට සමාන සහ වෘක්ෂලතා රහිත තැනිතලාවල රතු පැහැයේ ප්‍රබල අර්ථයක් ගෙන දෙන අර්ථය ඇති අෂ්හර් යන විශේෂණ පදයට ද සම්බන්ධ වේ. නිරිතදිග ඇල්ජීරියාවේ Tanezrouft ප්‍රදේශය සහ මධ්‍යම නයිජර්හි Ténéré ප්‍රදේශය වැනි විශේෂිත ප්‍රදේශ සඳහා දේශීය නම් ද පවති. ඒවා බොහෝ විට බර්බර් සම්භවයක් සහිත නම් වේ.

සහරාව තුළ භූ ලක්ෂණ ගණනාවක් හඳුනා ගත හැකි අතර වැලි කඳු, ශුෂ්ක රූපී ලක්ෂණ පෙන්නුම් කරන කඳු වැටි, උස් සානු, රළු පාෂාණ සහිත තැනිතලා බිම්, නොගැඹුරු නිම්න භූමි හා ක්ෂේම භූමි ආදිය ද මෙහි දී දැක ගත හැකි ය. සහරාවේ උස ම ස්ථානය වන්නේ චැඩ් රාජ්‍යයේ පිහිටා ඇති නිෂ්ක්‍රීය ගිණිකඳු ද්වාරයක් වන කොඋසි කන්දයි. එය මුහුදු මට්ටමේ සිට අඩි 11,204 ක උසකින් යුක්ත වේ. ඊජිප්තුවේ ක්වටෙරා අවපාතය සහරා කාන්තාරයෙන් හමු වන පහත්ම ස්ථානය වන අතර මුහුදු මට්ටමේ සිට අඩි 436 ක් පහතින් එය පිහිටා ඇත. සහරාවේ නිර්මාණය වී ඇති වැලි කඳුවලින් බොහෝමයක් පිහිටා ඇත්තේ එහි මධ්‍යයේ සිට මදක් උතුරට එනම් ඇල්ජීරියාව හා ලිබියාව තුළය. දීර්ඝ කාලීනව සුළං හැමීම නිසා මේවා විවිධ හැඩවලින් නිර්මාණය වී ඇති අතර ඒවාට සුවිශේෂි වූ නම් ද පවති.

සහරා කාන්තාරය මතින් ගලා යන ගංගා දෙකක් වන අතර එම ගංගා නම්, නයිල් හා නයිජර් ගංගා වේ. නයිල් ගඟ මධ්‍යම අප්‍රිකාවෙන් ආරම්භ වී උතුරු දෙසට සහරාව ඔස්සේ ගලා ගෙන ගොස් මධ්‍යධරණී මුහුදට වැටෙන අතර නයිජර් ගංගාව බටහිර අප්‍රිකාවෙන් ආරම්භ වී ඊසාන දිගට ගලා ගෙන ගොස් ඉන් අන්තුරුව ගිණිකොන දෙසට හැරී ගිනියා බොක්කට වැටෙයි. මීට අමතරව සහරාව සතුව විල් 20ක් පමණ පවති. නමුත් භාවිත කළ හැකි මට්ටමේ ජලය පවතිනුයේ චැඩ් ජනරජයට අයත් සීමාවේ පිහිටා ඇති චැඩ් විලෙහි පමණි. නොගැඹුරු නමුත් වැඩි වපසරියක විහි දී ඇති මෙම විල කාලානුරූපීව ප්‍රසාරණය වීමට හා සංකෝචනය වීමට කල් වේ. අනෙක් විල් සියල්ලේ ම ජලය ලවණමය ස්වභාවයක් ගනි. එමෙන් ම භූගත ජලතලයක් ද හඳුනා ගත හැකි අතර ඇතැම් ස්ථානවල දී මෙම ජලය මතුපිටට පැමිණීම නිසා ක්ෂේම භූමි නිර්මාණය වී තිබේ. මේවා බොහෝ විට දැකිය හැක්කේ අවපාත ඇති ස්ථාන වලයි.

මුළු සහරාව පුරා ම වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර කිහිපයකට සීමා වන අතර බොහෝ ස්ථාන වල ඊටත් වඩා අඩු අගයක් ගනි. ඇතැම් ස්ථානවලට වසර ගණනාවකින් වර්ෂාව නොලැබී තිබී එක්වර ම මහා වර්ෂාවන් ඇද හැළීම සිදු වන අතර නැවතත් වසර කිහිපයක් ගත වන තුරු වර්ෂාවේ සලකුණක් හෝ දක්නට නොහැකි වේ. මෙය සහරාවේ සුවිශේෂි ලක්ෂණයකි.  සුළං හැමීම වසර පුරා ම ඊසාන දිග සිට සමකය දෙසට සිදු වන අතර කාන්තාරයේ වියළි බව හා අධික උෂ්ණත්වය නිසා මේ සුළංවල අඩංගු තෙතමනය සම්පූර්ණයෙන් ම වාෂ්ප වීමකට කල් වේ. මෙම සුළං සමහර විටෙක භූමියේ ඇති වැලි ද ඔසවාගෙන ගොස් වැලි කුණාටු ද නිර්මාණය කිරීමට සමත් වේ. 

ග්‍රීෂ්ම ඍතුව පුරා ම ඉතා උණුසුම් සුළං හමන අතර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100 ඉක්මවන අවස්ථාවන් ද පවති. සහරාව තුළ වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය ලෙස සටහන් වී ඇත්තේ ෆැරන්හයිට් අංශක 136 කි. ඒ 1922 සැප්තැම්බර් මස 13 වන දා ලිබියාවෙනි. වසරේ වැඩි කාල සීමාවක් පැහැදිලි අහසකට උරුමකම් කියන අතර සවස හා රාත්‍රියේ දී උෂ්ණත්වය, දිවා උෂ්ණත්වයට වඩා ෆැරන්හයිට් අංශක 40 කින් පමණ පහත වැටෙයි. ශීත ඍතුවේ දී උතුරු සහරාවේ ජලය මිදෙන උෂ්ණත්ව පවා ඇති විය හැකියි. ශීත සෘතුවේ දී සහරාවේ ඇතැම් උස් කඳු මුදුන්වලට කලාතුරකින් හිම වැටීම ද සිදු වේ.

දැඩි ලෙස ශුෂ්ක දේශගුණයට අනුවර්තනය වූ ජීවීන් මෙහි දී හඳුනා ගත හැකි අතර බොහෝ සතුන් සිය ජල අවශ්‍යතා සපුරාගනු ලබන්නේ සිය ආහාර මගින් ය. මේ සඳහා වූ ශාරීරික අනුවර්තන ඔවුන් සතු වේ. සහරා කාන්තාරය ආශ්‍රිත ප්‍රදේශවල ක්ෂීරපායී සතුන් විශේෂ 70 ක් ද, නේවාසික පක්ෂී විශේෂ 90 ක් පමණද, උර්ග විශේෂ 100ක් හා කෘමි සතුන් වර්ග රාශියක් ද ජීවත් වේ. ක්ෂීරපායීන් අතරට බාබරි බැටළුවන්, ඔරික්ස් ගවයන්, ඇනුබිස් බැබුන්, තිත් සහිත හයිනාවන්, ගැසල් මුවන්, නරින් වැනි සතුන් අයත් වන අතර පැසබරුන් වැනි පක්ෂීන් ද නයින්, කටුස්සන්, ගෝනුස්සන් හා කිඹුලන් වැනි සතුන් ද මෙම පරිසර පද්ධතිය තුළ දැකගත හැක. සහරාවේ වැඩිමනක් ජීවී ප්‍රජාව ජීවත් වන්නේ එහි උතුරු හා දකුණු මායිම්වල හා ජල ප්‍රභව ආශ්‍රිතවයි. සහරාවේ වඩාත් ප්‍රසිද්ධ සත්ත්වයා වන්නේ ‘කාන්තාරයේ නෞකාව’ ලෙස හඳුන් වන ඔටුවායි. කාන්තාරයේ ප්‍රවාහන කටයුතු ආදියට​ වසර දහස් ගණනක් තිස්සේ ඔටුවන් භාවිතා කරනුයේ ජල සංරක්ෂණය හා කාන්තාරික ගමන් කිරීම් සඳහා එම ජීවියා සතුව පවතින ස්වභාවික අනුවර්තන පිහිටීම නිසායි. මොල්ලි දෙකක් පිහිටිම නිසා සිය ශරීරය තුළ විශාල ජල ධාරිතාවක් ගබඩා කරගත හැකි අතර ගිණියම් වැලි පර ඔස්සේ ඉදිරියට ඇදෙන්නට හැකි පරිදි සෑදුණු දැඩි කුරත්, පතොක් වැනි කටු සහිත ශුෂ්කරූපී ශාක ආහාරයට ගැනීමට හැකි පරිදි සෑදුණු තද තොල්පෙති මෙන්ම ජල සංරක්ෂණය සඳහාම සෑදුණු නාසය, ඇහිබැම වැනි දේ නිසා ඔටුවන්ට පහසුවෙන් කන්න්තාර හරහා ගමන් කිරීමට හැකි ය.

සෑම කාන්තාරයක මෙන්ම සහරා කාන්තාරය තුළ ද හඳුනා ගත හැක්කේ ඉතා ම සීමාසහිත ශාක ප්‍රජාවක් පමණි. මින් බහුතරයක් කාන්තාරයේ උතුරු හා දකුණු සීමාවේ ද, ක්ෂේම භූමි හා ගංගා නිම්නවල ආශ්‍රිතව ද පවති. ක්ෂේම භූමි ආශ්‍රිතව වැවෙන රටඉඳි ගස් වැනි දිගු මූල පද්ධතියක් සහිත ශාක, සිය මුල් මගින් ජල ප්‍රභව සොයාගෙන ගමන් කරයි. දැඩි ශුෂ්ක ප්‍රදේශවලට හදිසියේ ඇද හැළෙන වර්ෂාවන් හේතුවෙන් කෙටි කාලීනව වැවෙන මල් සහිත පැළෑටි වර්ග කිහිපක් ද දැක ගත හැකි ය. මෙම මල් වර්ගවල බීජ වසර ගණනාවක් ප්‍රරෝහණය නොවී කටුක පාරිසරික තත්ත්ව දරා සිටීමේ හැකියාව දරන ඒවා වේ. එමෙන් ම පතොක් ශාක වැනි මාංසලමය ශාක විශේෂ ද තව දුරත් මෙම ප්‍රදේශ ආශ්‍රිතව දැක ගත හැකි වේ.

ප්‍රසිලා සඳරුවනි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required