ඇඳිරි වැටෙන්නත් පෙරම - පිටවුනේ කුසගින්න නිවාගන්න
පුරුදු පාරේ ඇවිදගෙන යන විට - දැනුනෙ නෑ බියක් කිසිසේත්ම
කිරල රංචුවක් ගියා කෑ ගගහ - හැබැයි වෙනදට වඩා කලබලේකින්
ඒත්, අමුත්තක් දැනුනෙ නෑ - රාජ තේජස ඇති නිසාවෙන්.
බිරිඳ හා කුඩා පැටවුන් - ගල්ලෙනේ සුරැකීව රඳවා
පියෙකුගේ සෙනෙහෙ - හදපතුලේම තවරා
අඩිය ඉක්මන් කර - ඇවිද යන්නට වුණා
පුංචි පැටවුන් කුසගින්නේ හාමත් වන නිසා
කටු පඳුරු අද්දරින් සීරුවට රිංගා
වැව් ඉවුරට ළං වුණා පා ලකුණු හංගා
දුර තබා කොටි ඉව අදුනගත් හිංදා
මුව රංචු පණ බයේ හැංගීම වුන්නා
ලේ කිරි නොවුනත් මා හට උරුමින්
පියසෙනේ ලේ නහර පොඟවමින්
නොහැකිය තබන්නට කුසගිනි මත්තෙන්
උණුවුනා මගෙ හිත දරුදුක වෙනුවෙන්
එනිසාම හිතුවා යන්නට මිනිස් වාසයට………
නුපුරුදු මාවතකි හාමතේ ඇවිදින
වේලුණු තොල කට විඩාබර ඇස් සහිත
ඒ වුනත් .. තවත් ඇදුනා ඉදිරියට
පුතු පැටවු සිහි වූ විගස
පැතූ දෙයක් නොම වෙන ලොව
අසු වුණා ඇටවූ මිනිස් මද්දකට
දත් විළිස්සා වේදනාවෙන් කීවද
ඊයක වේගයෙන් කැළඹුනා මිස ජාලය
එකෙකු පැමිණියේ නැත මගෙ දුක ලිහන්නට
සිහි නැගුනේ හැමවෙලේ මා පුතු තිදෙන
භයන්කාරයි,කුරිරුයි,විෂමයි මිනිස් ලොව
කැලයවත් අයිති නැති මගෙ දරු පැටවුන්ට
හෙට වුනත් බැරි නෑ මද්දකට හසු වෙන්න
නවෝද්‍යා ත්‍යාංගනී.