බොහෝ දෙනා පටලවා ගන්නා යෙදුම් දෙකක් ලෙස "මූලික අයිතිවාසිකම්" සහ "මානව හිමිකම්" යන යෙදුම් හඳුනාගත හැක. මානව හිමිකම් යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අවම ජීවන මට්ටමක් පවත්වා ගැනීම සඳහා රජයෙන් සහතික කළ යුතු යැයි සම්මත කර ඇති අවශ්‍යතා සමූහයකි. මූලික අයිතිවාසිකම් යනු කිසියම් රටක නීති බවට පත්කර ඇති අයිතිවාසිකම් සමූහයකි.
ශ්‍රී ලංකාවේ මෙම මූලික අයිතිවාසිකම් පිළිබඳ නීතිය අඩංගු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ය. මූලික අයිතිවාසිකම් පිළිබඳව සේම එම මූලික අයිතිවාසිකම් කඩ වූ විට සිදු කළ යුතු ප්‍රතිකර්ම පිළිබඳව ද තොරතුරු එහි වේ.මිනිසුන්ට සිතීමට හා හෘද සාක්ෂියට නිදහස ඇත. තමන් කැමති ආගමක් ඇදහීමට, කතා කිරීමට හා අදහස් පළ කිරීමට ද නිදහස ඇත.රැකියාවක නිරත වීමේ අයිතිය ඇත. එවන් අයිතිවාසිකම් කිසියම් හේතුවක් නිසාවෙන් කඩවුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පවා හැකියාව ඇත.
මූලික අයිතිවාසිකම් කඩ වී මාසයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරිය හැක.එසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පුරවැසියා සතුය. මූලික අයිතිවාසිකම් කඩ වී වසරක කාලයක් ඉක්ම වීමට පෙර මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.මෙම ප්‍රතිකර්මවලට අමතරව අගනිසුරු වෙත හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වෙත ලිපියක් මගින් තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ හැකියාව ද වේ.මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන අඩු ආදායම්ලාභී ප්‍රජාවට නොමිලයේ නීති ආධාර ලබා ගැනීමේ හැකියාව ද පවතී.
මෙම මූලික අයිතිවාසිකම් යටතේ පොලිසිය සතු බලය ද පොදු ජන යහපත උදෙසා සීමා කර ඇත.ඒ අනුව පොලිස් නිලධාරීන්ට තම ශරීරික බලය යෙදවිය හැක්කේ සීමිත අවස්ථා කිහිපයකදී පමණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හට පහර දීමට පොලිස් නිලධාරියාට බලයක් නැත.
රාජ්‍ය නිලධාරීන්ටද මෙම මූලික අයිතිවාසිකම් යටතේ වෘත්තිය සුරක්ෂිත භාවයක් හිමිවේ. ඒ අනුව සුදුසුකම් තිබියදී උසස් වීම් ලබා නොදීම, සුදුසුකම් ඇති අය සිටියදී වෙනත් අයට පත්වීම් ලබාදීම, අසාධාරණ හේතු මත සේවයෙන් පහ කිරීම හා ස්ථාන මාරුවීම් ලබාදීම වැනි අකටයුතුකම් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් යටතට ගෙන ප්‍රශ්න කළ හැක.
වර්තමානයේ පාසලකට දරුවන් ඇතුළත් කිරීමේදී ද විවිධ අක්‍රමිකතා සිදුවේ. විවිධ දැන හැඳුනුම්කම් මත පාසල් ලබා දීම හේතුවෙන් සුදුසුකම් ලත් පිරිස බොහෝ අපහසුතාවයට පත්වේ. ඒ අනුව සුදුසුකම් සපුරා තිබියදීත් පාසල්වලට ළමයින් ඇතුළත් කර නොගැනීම වරදක් ලෙස සැලකේ. විශ්ව විද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන ද සිසුන් ඇතුළත් කර ගැනීමේදී විධිමත් හා විනිවිදභාවයකින් යුතු ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතුය.
මෙම සියලු කරුණු සලකා බැලීමේදී පැහැදිලි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් හරහා මහජනතාවට නිසැක රැකවරණයක් උදාවන බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ඡේදය ඔස්සේ මෙම කරුණු වඩාත් පුළුල් අන්දමින් අවධාරණය කෙරේ.
වාසනා වික්‍රමසිංහ.