මුදල් ජීවිතයෙහි අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී හමාරය. වාණිජකරණය වූ සමාජයක මුදලට හිමිවන්නේ ඉහළ වටිනාකමකි. සියල්ලෝ ම මුදල් පසුපස හැකි උපරිම වේගයෙන් හඹා යති. එවන් පසුබිමක මුදල් ගනුදෙනු සම්බන්ධ ආරවුල් දුරදිග යාමෙන් ජීවිත හානි පවා සිදුවිය හැක. මුදල් ගනුදෙනු වලට අදාළව පවතින නෛතික කරුණු පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වන්නේ නම් එවැනි ගැටලු විශාල ප්‍රමාණයක් වළක්වා ගත හැකිය. මුදල් ණයට ලබා දෙන පුද්ගලයා සේම මුදල් ණයට ලබා ගන්නා පුද්ගලයා ද එම කරුණු කෙරෙහි මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම වැදගත් ය.
පුද්ගලයින් අතර සිදුවන ණය ගනුදෙනු වලදී "පොරොන්දු නෝට්ටු" මත ණයට දීම ඥානාන්විත ක්‍රියාවකි. පොරොන්දු නෝට්ටුවක් යනු කුඩා ප්‍රමාණයේ මුද්‍රිත පත්‍රිකාවකි. මේවා ඉතා සුළු මුදලකට මිලට ගත හැකිය. එම පොරොන්දු නෝට්ටුවක් මත මුදල් ණයට දීමේ දී මුදල ණයට ගන්නා පුද්ගලයා, මුදල් ප්‍රමාණය, ණයට ගත් දිනය, මුදල් ආපසු ගෙවන දිනය, ගෙවිය යුතු පොලී මුදල වැනි අත්‍යවශ්‍ය කරුණු නිවැරදිව සටහන් කිරීම සිදුවේ.එසේම සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ අත්සන් ද ලබා ගැනේ. එලෙස පොරොන්දු නෝට්ටුවක් මත ලබා ගත් ණය මුදල් ආපසු ගෙවීම පැහැර හැරි විට නඩු පැවරීමේ හැකියාව ද ණය හිමියා සතුය.
ශ්‍රී ලංකාවේ භාණ්ඩ විකිණීම සම්බන්ධව බලපවත්වන්නේ භාණ්ඩ විකිණීමේ අඥා පනතයි. භාණ්ඩ විකිණීම සම්බන්ධ පැමිණිලි පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය වෙත ද ඉදිරිපත් කළ හැක. භාණ්ඩ විකිණීමේ ගනුදෙනුවකින් අතෘප්තියට පත් ගැනුම්කරුවෙකුට ද ඒ පිළිබඳව නඩු පැවරීමේ අවස්ථාව වේ. මෙවැනි නඩු පැවරීම් අදාල ගනුදෙනුව සිදුවී වසරක් ඇතුළත සිදු කිරීම අනිවාර්ය වේ.
චෙක් පත් මාර්ගයෙන් සිදුකරන මුදල් ගනුදෙනු වලදී ද බොහෝ අක්‍රමිකතා සිදුවේ. චෙක් පතක් අගරු වූ විට එම චෙක්පත ලියූ තැනැත්තාගෙන් විමසීමක් කළ හැක. ඊට ප්‍රතිචාර ලෙස නැවත චෙක් පතක් මගින් හෝ මුදල් මගින් ගෙවීමක් සිදුවිය යුතු අතර එසේ නොකළ අවස්ථාවලදී නඩු මාර්ගයට එළැඹීමේ හැකියාව පවතී.
මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම අරමුණු කොට ගෙන දේපළ උකස් කිරීම් සුලභව සිදුවේ. මෙහිදී ණය උකස්කරයකට අදාළ ණය නොගෙවා පැහැර හැරියහොත් එන්තරවාසියක් මගින් එම ණය මුදල නැවත ඉල්ලා සිටිය හැක. එම එන්තරවාසියට නිසියාකාර ප්‍රතිචාරයක් සිදු නොකළේ නම් ණය උකස් ඔප්පුව මත පිහිටා නඩු පැවරිය හැක. එහිදී සිදුවන්නේ උකසට තබා ඇති දේපළ අධිකරණය මාර්ගයෙන් විකුණා ණය මුදල පියවා හැරීමයි. කෙසේ වෙතත් ණය මුදල ගෙවා දැමීමට ඉදිරිපත් වූ පසු ද උකස අවලංගු නොකරන අවස්ථා බොහෝ ය. මෙවන් අවස්ථාවලදී ණය මුදල අධිකරණයේ තැන්පත් කර උකස වලංගු කරවා ගත හැකිය.
වාසනා වික්‍රමසිංහ.