ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිකයන් පෞද්ගලික අංශයේ, අර්ධ රාජ්‍ය ආයතනවල හා රාජ්‍ය සේවයේ රැකියා කටයුතු කරයි. රාජ්‍ය සේවකයන් හා අර්ධ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් පැන නගින ගැටලුවලට වඩා සංකීර්ණ ගැටලු පෞද්ගලික අංශයේ සේවකයන් සම්බන්ධයෙන් පැන නගී. බොහෝ පෞද්ගලික ආයතන ලාභය මත පදනම්ව තීරණ ගන්නා අතර සේවකයාගේ වෘත්තීය තෘප්තිමත්භාවය පිළිබඳව සැලකිලිමත් නොවේ.සේවකයාගේ අයිතිවාසිකම් පිළිබඳ ඉල්ලීම් කෙරෙහි ද සංවේදී නොවේ.
රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල සේවකයන් අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ විට කම්කරු විනිශ්චය සභා වෙත පැමිණිලි කිරීම කළ හැක.එවැනි කම්කරු විනිශ්චය සභා කිහිපයක් ම විවිධ නගර ආශ්‍රිතව පිහිටා තිබේ. මෙම ආයතන පිහිටුවා ඇත්තේ අසාධාරණ ලෙස සේවයෙන් නෙරපීමේ අවස්ථාවලදී යුක්තිය ඉටු කිරීම සඳහා ය. කම්කරු විනිශ්චය සභාවට සේවකයාව නැවත සේවයේ පිහිටුවීම, වන්දි හිමිකර දීම වැනි ක්‍රියාමාර්ග ගත හැක.සේවයෙන් නෙරපනු ලැබීම අසාධාරණ බව ඔප්පු වූ විට නැවත සේවයේ පිහිටුවීම වෙනුවට වන්දි මුදලක් ගෙවීමට නියම කරන අවස්ථා බහුල ය. නෙරපනු ලැබූ සේවකයා නැවත සේවයේ පිහිටුවීම හරහා ආයතනික කළමනාකාරීත්වය අපහසුතාවයට පත් වේ නම් ඒ වෙනුවට වන්දි නියම කිරීම වඩාත් සුදුසු ය.ඇතැම් සේවා යෝජකයෝ තම සේවකයන් නෙරපා හැරීම සිදු නොකර ඔවුන්ට වක්‍රාකාරයෙන් ආයතනය එපා වන අන්දමේ කටයුතු සිදුකරයි. වැටුප් නිසියාකාරව නොගෙවීම , සේවකයාට අඩන්තේට්ටම් කිරීම, සේවා ගිවිසුමට පටහැනි ස්ථාන මාරු කිරීම් සිදුකිරීම, ඉටු කිරීමට අපහසු කාර්යයන් පැවරීම වැනි ක්‍රියාවන් එවැනි අකටයුතුකම් කිහිපයකි. මෙවන් අවස්ථාවලදී ද කම්කරු විනිශ්චය සභාව වෙත ගොස් නඩු පැවරීමට අදාළ සේවකයාට හැකියාව පවතී.
ස්ථිර සේවකයන්ගේ සේම අනියම් සේවකයන්ගේ දායකත්වය ද ආයතනයකට අවශ්‍ය විය හැක. අනියම් සේවකයන් ලෙස හඳුන්වන්නේ නිතිපතා සේවයට පැමිණිය යුතු නොවන, වැඩ ඇති දිනවල පමණක් සේවයට පැමිණෙන සේවක පිරිස ය. අනියම් සේවකයා ද ස්ථිර සේවකයාට හිමි අතිකාල, වාර්ෂික නිවාඩු, ප්‍රසාද දීමනා වැනි ප්‍රතිලාභ ලබා ඇත්නම් ස්ථිර සේවකයෙකු ලෙසින් සැලකිය හැකිය.අනියම් සේවකයාට දිගු කාලීනව සේවයේ රැඳී සිටීමට අයිතියක් නැත. එබැවින් සේවයෙන් නෙරපනු ලැබූ අවස්ථාවකදී නැවත සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලීම් කිරීමට ද හැකියාවක් නොවේ. කෙසේ වෙතත් තමා ඉටු කළ සේවයේ ස්වභාවය හා දරන ලද වගකීම් වල ස්වභාවය වැනි කාරණා සලකා මෙම තත්ත්වය වෙනස් කරවා ගත හැක.
වාසනා වික්‍රමසිංහ.