වන්දි ලබාගැනීම පුළුල් පරාසයක පැතිර ඇති නෛතික ක්‍රියාවලියකි.ශ්‍රී ලංකාවේ වන්දි ලබා ගැනීම සම්බන්ධ නීති පද්ධතිය අංශ කිහිපයකට බෙදා දැක්විය හැක. ඒ සාමාන්‍ය වන්දි , කම්කරු වන්දි සහ රක්ෂණ වන්දි ලෙසයි. සාමාන්‍ය වන්දි නීතිය රෝම ලන්දේසි දිලීක්ත නීතිය පදනම්ව ගොඩනැගී ඇති අතර කම්කරු වන්දි හා රක්ෂණ වන්දි පිළිබඳ නීති රීති වැඩි වශයෙන් හැඩගැන්වී ඇත්තේ විවිධ ව්‍යවස්ථා පාදකකොට ගෙනය.
හදිසි අනතුරු අවස්ථාවකදී දේපළ හානි, ජීවිත හානි, ශාරීරික තුවාල සහ මානසික හානි යන කරුණු සලකා වන්දි ලබා ගැනීමට අවස්ථාව ඇත. හදිසි අනතුරු සම්බන්ධ වන්දි නඩු පවරන විට වාහනයේ රියදුරු සහ අයිතිකරු දෙදෙනෙකු නම්, එම දෙදෙනාට ම විරුද්ධව නඩු පවරනු ලැබීම් සුවිශේෂී ය. රියදුරුගේ වරද ඔප්පු වූ විට රියදුරු ද හිමිකරු ද යන දෙදෙනා ම වන්දි ගෙවීමකට යටත් කළ හැක.
පුද්ගලයෙකුට සිදුවන අපහාසාත්මක ප්‍රකාශයක් සඳහා වන්දි ලබා ගැනීමේදී අපහාස නඩුවක් ගොනු කළ හැකිය. මෙම අපහාසය විවිධාකාර විය හැක. ලිඛිත අපහාස, වාචික අපහාස, මුද්‍රිත අපහාස සේම අංග චලනයන් හරහා සිදු කරන අපහාස සඳහා ද වන්දි ලබා ගත හැක. ඉංග්‍රීසි තෝරත නීතියට අනුකූලව අපහාස නඩුවක දී චේතනාව වැදගත් නොවේ. එබැවින් අපහාස කිරීමේ චේතනාවක් නොතිබුන ද වන්දි ගෙවීමේ වගකීමට ලක් කළ හැකිය.
බොහෝ අන්තරායකර උපකරණ සමඟ භයානක රැකියාවල නිරත සේවකයන් බොහෝ ය. මෙම සේවකයෝ නිතර ම ඛේදනීය අනතුරු වලට මුහුණ පාති. එවැනි අවස්ථාවලදී කම්කරු වන්දි කොමසාරිස් වෙත පැමිණිලි කිරීම හෝ පෞද්ගලිකව වන්දි නඩුවක් පැවරීම කළ හැකිය.මේ අතරින් කම්කරු වන්දි කොමසාරිස් වෙත පැමිණිලි කිරීම වඩාත් ඉක්මන් ප්‍රතිකර්මයක් ලෙස හඳුනාගත හැක.ත්‍රිවිධ හමුදාවල සහ පොලිසියේ සේවකයන්ට කම්කරු වන්දි කොමසාරිස් වෙත පැමිණිලි කිරීමේ අයිතියක් නොමැති වීම ද විශේෂ කරුණකි.
අනතුරකින් සේවකයා මිය ගියහොත් ඔහුගෙන් යැපුණු පවුලේ අනෙකුත් පිරිසට ද වන්දි සඳහා හිමිකම ඇත. කෙසේ වෙතත් සේවක වන්දි ගෙවීමේ වගකීමෙන් නිදහස් වීමට හෝ වන්දි මුදල අඩුකර ගැනීමට සේවා යෝජකයාට යම් හැකියාවක් පවතී. සේවකයා ආරක්ෂක උපදෙස් අනුගමනය නොකළ බව, සේවකයා හිතුවක්කාරී ලෙස ක්‍රියා කර ඇති බව, අදාළ අනතුර සේවාකාලය තුළදී සිදු නොවුණු බව ආදී කරුණු ඔප්පු කිරීම ඔස්සේ සේව්‍යයාට එම නිදහස හිමි කර ගත හැක.
වාසනා වික්‍රමසිංහ.