
මෙම වසරේ මුල් මාස අටේ බදු ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 28.5%කින් වර්ධනය වී තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 2024 වසරේ ජනවාරි සිට අගෝස්තු අවසානය දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 1,229,245ක බදු ආදායමක් රැස්කරගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම කාලසීමාව තුළ ඉකුත් වසරේදී රැස්කිරීමට හැකිව ඇත්තේ රුපියල් මිලියන 956,418ක බදු ආදායමක් පමණයි.
සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, ඔට්ටු සහ සූදු බද්ද, කොටස් ගනුදෙනු බද්ද හා වෙනත් බදු වර්ග යන බදු වර්ග කිහිපයක් යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම බදු මුදල් එක්රැස් කර ඇති බව අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන්.