/
/
title icon TAKE CARE අවසානයට පෙර
TAKE CARE අවසානයට පෙර
Suhansi Weerasinghe
1 month ago
Share:
TAKE CARE අවසානයට පෙර

මේනකා, අසේනි හා වාසල යන ප්‍රධාන චරිත ත්‍රිත්වය වටා ගෙතුණු TAKE CARE ටෙලිනාට්‍යය එළඹෙන සෙනසුරාදා එනම් සැප්තම්බර් 21 වන දින අවසාන සනිටුහන් කිරීමට නියමිතයි. මේ සූදානම අවසානයට පෙර TAKE CARE විසින් තම ප්‍රේක්ෂකයාට ප්‍රධාන චරිත ත්‍රිත්වය ගෙන ආ ආකාරය පිළිබඳ විමසීමටයි.

සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද් , රෙබෙකා දිල්රුක්ෂි යන රංගන ශිල්පීන් විසින් මෙහි වාසල, මේනකා හා අසේනි යන ප්‍රධාන චරිතයන්ට පණදෙන අතර සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනක ම ස්වාධීන රූපවාහිනී සේවය තුළින් මෙම ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙයි. TAKE CARE අනුෂ්ක රසාංජන ද සිල්වා ගේ අධ්‍යක්ෂණයක් හා තිර රචනයක් වන අතර සාරංග දිසාසේකර ගේ නිශ්පාදනයකි.

මෙම ටෙලිනාට්‍යයට මුල් කාලීනව ලිංගිකත්වය පිළිබඳ ව විවෘත ව සාකච්ඡා කිරීම, දුම්වැටි භාවිතා වන ජවනිකා ඇතුළත් වීම හා ඇඟලුම් කර්මාන්තශාලා සේවිකාවන් පිළිබඳ මෙහි ගොඩ නැගෙන සමාජ සංස්කෘතික භූමිකාව යනාදී කරුණු මුල් කරගෙන විවේචන එල්ල වූ ව ද, මේ වන විට මෙය බහුතර ශ්‍රී ලාංකික ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් ගේ ප්‍රසාදය දිනා හමාර ය.

වාසල ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කරන ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන සිටින කළමණාකරුවෙක් වන අතර මේනකා එම ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවිකාවකි. අසේනි යනු වාසලගේ බිරිඳයි. වාසල සහ මේනකා අතර ඇතිවන අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස මේනකා ගැබ් ගනියි. මෙය  සිදුවන්නේ වාසලගේ බිරිඳ වන අසේනි ට දරුවන් සෑදීමට නොහැකි බව වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු කර තිබූ පසුබිමකයි. වාසල සහ අසේනි තමන්ට දරුවෙක් නොසිටීම පිළිබඳව අධික සිත් පීඩාවකින් සහ තැවුලකින් සිටියි. එම පීඩාව නිසා ම අසේනි දරුඵල ලබා ගැනීම සඳහා යන්ත්‍ර මන්ද්‍ර ගුරුකම් කෙරෙහි ද යොමු වේ. එවැනි ක්‍රියා පිළිබඳ වාසලගේ එතරම් මනාපයක් නොවුව ද අසේනගේ සිත රිදිවීමට නොහැකි බැවින් ඔහු නිශ්ශබ්දව සිටියි. මේ අතරතුර අසේනිට වාසලගේ ඇඳුමක තිබී ගැහැණු කෙස් ගසක් හමුවන අතර එය තමාගේ කෙස් ගසක් නොවන බව ඇයට තහවුරු වේ. මෙතැන් සිට වාසල කෙරෙහි අසේනි ගේ සැකය ආරම්භ වේ.

මෙම ටෙලිනාට්‍යය තුළ TAKE CARE යන වචන දෙකට සංකේතාතමක ව ලබා දී ඇති වටිනාකම ඉතා ඉහළ ය. එමෙන් ම මෙම වචන දෙක වාසල, අසේනි හා මේනක යන චරිත නිරූපණයට නිර්මාණශීලී ව යොදාගෙන ඇත. TAKE CARE යන වචන දෙක වාසල තම ආදරය ප්‍රකාශ කරමින් අසේනි ට නිවසින් පිටවන විට හා දුරකථන ඇමතුමක් අවසන් කරන විට වැනි අවස්තාවල පුරුද්දක් ලෙස ප්‍රකාශ කරන්නකි. අසේනි ද එය වාසල සමඟ කතාබහේ දි යොදා ගන්නා අතර  වාසල මේනකා ට සමීප වීමත් සමඟ මේනකා ගේ ශබ්දකෝශයටද මෙම වචන දෙක එකතු වේ.

මෙහි මුල් කොටස් සියල්ලේදී ම ටෙලිනාට්‍යය තුළින් වාසල සහ මේනකා අසේනි ට වංචාවක් සිදු කරන බව ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වන අතර අසේනි ස්වාමි භක්තිය ඇති යහපත් බිරිඳක් ලෙස නිරූපණය වේ. වාසලගේ චරිතය තම බිරිඳ රවටෙන වංචා සහගත සැමියෙක් ලෙස ද මේනකාගේ චරිතය තම ස්වාර්ථය පමණක් සිතන සල්ලාල ගැහැණියකු ලෙස ද නිරූපණය වේ.
මේනකා වාසල නිසා ගැබ් ගෙන ඇති බව දැන ගැනීමෙන් පසුව මෙහි චරිත නිරූපණය තරමක් දුරට වෙනස් මානයකට යොමුවෙයි. මේනකාගේ දරුවා හදා ගැනීමට තීරණය කිරීම නිසා අසේනිගේ චරිතය තවදුරටත් යහපත් කාන්තාවක් මෙන්ම ස්ත්‍රීවාදී කෝණයකින් ස්ත්‍රියගේ දුක හඳුනාගෙන ක්‍රියා කරන්නියක් ලෙසද නිරූපණය වේ. මෙතෙක් දුරට සල්ලාල ගැහැණියක් ලෙස නිරූපණය වන මේනෙකාගේ චරිතය මෙම සිදුවීමෙන් පසුව ප්‍රේක්ෂකයාගේ අනුකම්පාව දිනා ගැනීමට සමත්වන පරිදි නිරූපණය වේ. වාසල ගේ චරිතය තම බිරිඳට මෙන් ම මේනකාටද වංචා කළ පිරිමියෙක් ලෙස විශේෂයෙන් කාන්තා ප්‍රේක්ෂකයන් තුළ ඔහු කෙරෙහි ද්වේශ සහගත හැඟීමක් ඇතිවන ආකාරයට නිරූපණය කොට ඇත. 
මෙතැන් පසු සතියක් පාසා ම චරිත කෙරෙහි ඇති  ප්‍රේක්ෂකයාගේ දෘෂ්ටිකෝණය එකිනෙකට වෙනස් මානයන්ට ගෙනයාමට මෙම ටෙලිනාට්‍යය සමත් වී ඇත. ඒ අනුව අසේනිගේ චරිතය දරුවකු ලබා ගැනීමේ අරමුණින් මේනකා ව භාවිතා කරන්නියක් ලෙස, තමාට කළ වංචාවට තම ස්වාමියාට වක්‍රාකාරව දඬුවම් දෙන්නියක් ලෙස, ආත්මාර්ථකාමී අරමුණු සහිත ව ක්‍රියා කරන්නියක් ලෙස, සැමියා තමාව රැවටීම හේතුවෙන් අසරණ වූ කාන්තාවක් ලෙස ද විවිධ කෝණයන්ගෙන් නිරූපණය කරයි.
මේනකාගේ චරිතය පිළිබඳ සලකා බැලීමේ දී, මුල් කාලීනව ඇයගේ චරිතය සල්ලාල ගැහැණියක් ලෙස නිරූපණය වුව ද, පසුව දරුවෙකු සමග අසරණ වූ ගැහැණියක් ලෙස, ආදරය නිසා අසරණ වූ ගැහැණියක් ලෙස, පිරිමින් තම අවශ්‍යතාවය වෙනුවෙන් පමණක් භාවිතා කොට ඇය ව ඉවතලීම නිසා මානසික පීඩනයකට ලක් වූ ගැහැණියක් ලෙස, වාසල සහ අසේනිට තම දරුවා ව පරාර්ථකාමී අරමුණකින් පරිත්‍යාග කිරීමට සූදානම් පරාර්ථකාමී ගැහැනියක් ලෙස, ස්ත්‍රීවාදී කෝණයකින් අනෙක් ස්ත්‍රියගේ දුක හඳුනාගෙන ඒ පිළිබඳව කටයුතු කරන ගැහැණියක් ලෙස ද යන විවිධ මානයන්ගෙන් නිරූපණය කොට ඇත. 
වාසලගේ චරිතය බොහෝ දුරට ස්ත්‍රියට වංචා කළ පිරිමියෙකු ලෙස සෘණාත්මක මානයකින් නිරූපණය කොට ඇති අතර ඔහුව විටෙක තම බිරිඳ අසේනි ට සමීප වෙමින් මේනකාට අසාධාරණයක් කරන පිරිමියෙකු ලෙස සහ විටෙක මේනකාට සමීප වෙමින් තම බිරිඳ අසේනි ට අසාධාරණයක් කරන පිරිමියකු ලෙස ද නිරූපණය වී ඇත. නමුත් මෙම ටෙලිනාට්‍යයේ 31 සහ 32 යන කොටස් තුළදී ඔහුගේ චරිත නිරූපණය වෙනස් ම කෝණයකින් ප්‍රේක්ෂකයාට සමීප විය. එනම් තම පවුල් ජීවිතය තුළ කිසිදු ආකාරයකින් සතුටක් නොලැබ පීඩාවට පත් වූ පුරුෂයෙකු ලෙස ඔහුව නිරූපණය වී ඇත.

මෙම ටෙලිනාට්‍යය පිළිබඳව සාකච්ඡා කිරීමේදී සපත්නීරෝෂයක් ගීතය අමතක කළ නොහැකිය. නන්දා මාලනී සහ අභිෂේකා විමලවීර ගේ හඬින් ගීතවත් වූ මෙම ගීතය, වාසල නිසා මේනකා සහ අසේනි ගේ ජීවිත‍ය සහ ප්‍රේමය පිළිබඳ ගෙනහැර දක්වමින් එම චරිත ද්විත්වයම ප්‍රේක්ෂකයා ගේ අනුකම්පාවට බඳුන්වන පරිදි ඉතාමත් හැඟීම්බර ලෙස නිරූපණය කිරීමට සමත් විය. 
කෙසේ වෙතත් TAKE CARE ටෙලිනාට්‍යය ආරම්භය ට වඩා හාත්පසින්ම වෙනස් මානයක් මේ වනවිට ප්‍රේක්ෂකයාට සමීප කරමින් සිටියි.

අවසානයේ කුමක් වේ ද?   
ශ්‍රී ලාංකික ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ සැප්තැම්බර් 21 වන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිති.

සුහංසි වීරසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required