/
/
title icon සංජය ලීලා බන්සාලි ගේ NETFLIX ආගමනය. HEERAMANDI -THE DIAMOND BAZAR
සංජය ලීලා බන්සාලි ගේ NETFLIX ආගමනය. HEERAMANDI -THE DIAMOND BAZAR
Suhansi Weerasinghe
4 weeks ago
Share:
සංජය ලීලා බන්සාලි ගේ NETFLIX ආගමනය. HEERAMANDI -THE DIAMOND BAZAR

ප්‍රවීණ ඉන්දියානු සිනමාවේදියෙකු වන සංජය ලීලා බන්සාලි 2024 මැයි මස පළමු වන දා  තම කුළුදුල් NETFLIX නිර්මාණය ජනගත කළ අතර එය නමින් HEERAMANDI (හීරාමණ්ඩි) - The Diamond Bazar විය. මෙහි සිංහල අරුත වන්නේ දියමන්ති කඩමණ්ඩිය යන්නයි. බන්සාලි යනු චිත්‍රපට අධ්‍යක්ෂණය, සංගීත අධ්‍යක්ෂණය, තිර රචනය හා නිශ්පාදනය ආදී පැතිකඩ ගණනාවකින් ඉන්දියානු සිනමාව දික්විජය කළ සිනමාවේදියෙක් ය. ඔහුගේ  ප්‍රතිභාව උපරිමයෙන් ම HEERAMANDI තුළින් නැවත නැවතත් ජනගත කිරීමට ඔහු සමත් වූයේ, මෙම නිර්මාණයේ නිශ්පාදනය, අධ්‍යක්ෂණය,  සංගීත අධ්‍යක්ෂණය මෙන්ම සංස්කරණය ආදියට දායක වෙමින් ය. මෙම නිර්මාණයට පාදක වන කතාව මොයින් බෙග් ගේ වන අතර , බන්සාලි ට අමතරව ප්‍රේර්ණා සිංග් මෙහි විධායක නිශ්පාදිකාවක් ලෙස කටයුතු කොට ඇත. බන්සාලි මෙහි එන ගීත වල සංගීත අධ්‍යක්ෂණයට දායක වූ අතර පසුබිම් සංගීතය නිර්මාණයට බෙනඩික්ට් ටෙයිලර් හා නරේන් චන්දවර්කාර් දායක විය.
 HEERAMANDI,  ඓතිහාසික නාට්‍යය ප්‍රවර්ගයට අයත් වන අතර මෙම නිර්මාණය 1940 දශකය තුළ ඉන්දියානු නිදහස් ව්‍යාපාරය සමඟ ම ලාහෝර් ප්‍රදේශයේ විසූ තවායිෆ් නැමැති  කාන්තාවන් ගේ ජීවිතය හා බැදුණු කතා තේමාවක් පාදක කොටගෙන ඇත. තවායිෆ් නැමැති කාන්තාවන් විසූ ප්‍රදේශය රතු එළි ප්‍රදේශයක් - Red Light area ලෙස නම් කොට තිබූ අතර එම ප්‍රදේශය තම නිර්මාණය තුළ දියමන්ති කඩමණ්ඩිය ලෙස නම් කරමින් එම ප්‍රදේශයට මෙන්ම එහි විසූවන්ට ද නවමු අර්ථකථනක් ලබා දීමට බන්සාලි සමත් වී ඇත. 
මෙහි ප්‍රධාන චරිතයන් ලෙස ප්‍රේක්ෂකයා හමුවට එන තවායිෆ් නමින් හදුන්වන කාන්තාවන් කවුද? මොවුන් නර්තනය , සංගීතය හා කාව්‍ය කලාවට නිපුණ කාන්තාවන්‍ ය. මොවුන් මෝගල් යුගයේ දී ඉන්දීය වංශවතුන්ට සේවය කළ අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේ දී තම දක්ෂතා සඳහා නිසි අවස්ථා නොලැබීම නිසා බොහෝ තවායිෆ් කාන්තාවන්ට ගණිකා වෘත්තියට යොමු වීමට සිදු විය.
මෙම නිර්මාණය තවායිෆ් කාන්තාවන් හය දෙනෙකු වටා ගෙතුණු අපූරු කතා තේමාවකින් සමන්විත වන අතර කොටස් 8 කින් (episodes) NETFLIX අවකාශය හරහා මෙය ප්‍රේක්ෂකයාට සමීප විය.

HEERAMANDI තුළ ප්‍රධාන චරිත 6 ක් දක්නට ලැබීම මෙම නිර්මාණයේ තවත් සුවිශේෂීත්වයකි. 

මනීෂා කොයිරාල, මලිකාජාන් නොහොත් ෂාහි මහල් හි ප්‍රධාන පාලිකාව ලෙස, අදිති රාඕ, බිබෝජාන් නොහොත් මලිකාජාන් ගේ වැඩිමහල් දියණිය ලෙස, ෂර්මින් සේගල් මේතා, ආලම් සේබ් නොහොත් මලිකාජාන්ගේ බාල දියණිය ලෙස, සංජීදා ෂෙයික්, වහීදා නොහොත් මලිකාජාන් ගේ බාල සොහොයුරිය ලෙස, රිචා චඩ්ඩා, ලජ්වන්තී / ලජ්ජෝ නොහොත් මලිකාජාන් ගේ හදාගත් දියණිය ලෙස ද මෙම නිර්මාණ සඳහා රංගනයෙන් දායක වී ඇත. සෝනක්ෂි සිංහා මෙම නිර්මාණය තුළ ද්විත්ව චරිත නිරූපණයක් කරමින් ඉතා විශිෂ්ට රංගන කාර්‍යයක නිරත විය. ඒ රෙහානාජාන් නොහොත් මලිකාජාන්ගේ වැඩිමහල් සොයුරිය (මලිකාජාන්ට පෙර ෂාහි මහල් හි හිටපු ප්‍රධාන පාලිකාව) ලෙසත් ෆරීදාජාන් නොහොත් රෙහානාජාන් ගේ දියණිය ලෙසත් රංගනයේ නිරත වෙමින් ය.

ෂාහි මහල් නැමැති තවායිෆ් කාන්තාවන් විසූ අලංකාර මන්දිරය සහ ලාහෝර් නගරය මෙම නිර්මාණයට පසුබිම් වන පරිසරය වන අතර මෙම පරිසරය  මුම්බායි ෆිල්ම් සිටි  හි(Mumbai Film City) සුවිශාල භූමි ප්‍රදේශයක කෘත්‍රිම ව  ඉදි කොට HEERAMADI හි රූගත කිරීම් සිදු කොට ඇත.   HEERAMADI සඳහා රංග වස්ත්‍ර නිර්මාණය ද ඉතා ඉහළ මට්ටමකින් අනර්ඝ ලෙස සිදු කොට ඇත. මේ සියලු  නිර්මාණ කාර්‍ය්යන් සඳහා ඉන්දියානු රුපියල් කෝටි 200 ක පිරිවැය නිශ්පාදකයන් විසින් දරා ඇත.

ආදරය, විරහව, සෞන්දර්‍යය මෙන්ම වීර රසය ද කැටි වූ මෙම නිර්මාණය කොටස් 8 පුරාවට ම ප්‍රේක්ෂකයාට විවිධ වූ මානයන්ගෙන් රසවත් අත්දැකීමක් සමීප කිරීමට සමත් වී ඇත. විශේෂයෙන් ම ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට උර දුන් ප්‍රධාන බලවේගයක් ලෙස මෙම තවායිෆ් නැමැති කාන්තාවන් නිරූපණය කිරීම හා නර්තනය , ගායනය හා කාව්‍යකරණයට අති දක්ෂ පිරිසක් ලෙස මෙම තවායිෆ් කාන්තාවන් නිරූපණය මඟින් තවායිෆ්වරුන් දෙස  ගණිකාවන් ලෙස රාමු ගත වූ දෘෂ්ටිකෝණයකට එහා ගොස් නවමු මානයකින් බැලීමට ප්‍රේක්ෂකයාට සැලකිය යුතු ආකාරයේ බලපෑමක් එල්ල කිරීමට මෙම නිර්මාණය තුළින් බන්සාලි උත්සාහ දරා ඇත. රතු එළි ප්‍රදේශයේ විසූ මෙම තවායිෆ් නැමති කාන්තාවන්ට දියමන්තියක වටිනාකම ආරෝපණය කරමින් පිළිකුල් සහගත දෘෂ්ටිකෝණයකින් ජනතාව දුටු එම ප්‍රදේශයට මෙන්ම එහි විසූවන්ටද වටිනාකමක් එකතු කිරීමට බන්සාලි මෙම නිර්මාණය හරහා උත්සාහ කොට ඇත.

මෙම නිර්මාණයේ රසවත් බව මෙන්ම සෞන්දර්යාත්මක බව තව තවත් වැඩිදියුණු කිරීමට මෙහි එන ගීත සමත්ව ඇත. කොටස් 8 පුරාවට ම සෑම කොටසකට ම එක් ගීතයක් බැගින් අඩංගු වන පරිදි මෙම නිර්මාණය පෙළ ගස්වා ඇත. මෙහි එන ගීත, ඉන්දියාව තුළ පමණක් නොව ලොව පුරා අතිශය ජනාදරයට මෙන්ම ප්‍රසිද්ධත්වයට ද පත්විය.

HEERAMANDI දෙවන කොටස ළඟදීම ගෙන ඒමට බලාපොරොත්තු වන බව සංජය ලීලා බන්සාලි නිල වශයෙන් ප්‍රකාශ කොට ඇති අතර HEERAMANDI දෙවන කොටස ජනගත වන තුරු රසිකයෝ බලාපොරොත්තුවෙන් දෑස් දල්වා සිටිති.

සුහංසි වීරසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required