/
/
title icon ආරියවංශ කවි මඟ
ආරියවංශ කවි මඟ
Amaya Kularathna
4 weeks ago
Share:
ආරියවංශ කවි මඟ

සිංහල සාහිත්‍යයට අයත් ශානරයන්ගේ එක්තරා ප්‍රභේදයක් වන කවිය නවමු ආකාරයට ගෙනහැර පාන්නට උත්සහගත් කවියකු ලෙස ආරියවංශ රණවීර සංක්ෂිප්ත කවි අගය කරමින් සෞන්දර්යයට එහා ගිය ගැඹුරු අර්ථයක් මතු කරමින් කවි නිර්මාණය කර තිබේ. සමාජ, දේශපාලන ආදී ගැඹුරු කාරණා සංක්ෂිප්ත ලෙස පාඨකයාට සමීප කරවීමටත් සිංහල සාහිත්‍යයට එතුමාගේ නිර්මාණ එක්වෙමින් භාව පූර්ණ ලෙස කවි නිර්මාණකරණයේ නිරත වූ ආරියවංශගේ අනන්‍යතාව හා මනා වූ කවිත්වය පිළිබඳ  විමසා බැලීම වැදගත් වේ.

ආර්. ඒ ටිකිරිබණ්ඩා රණවීර මහතාට සහ ඇලන් රණවීර මාතාවට දාව ආරියවංශ  රණවීර 1942 නොවැම්බර් 03 වන දා මෙලොව එළිය දකී. ස්වකීය ප්‍රතිභාව ව්‍යුත්පත්තිය ඇසුරෙන් කවි ලියූ නූතන කවියකු ලෙස ආරියවංශ  රණවීර හඳුනාගැනීමට පුළුවන. කවියක සංක්ෂිප්ත බව අගය කළ මෙතුමා සංක්ෂිප්ත ප්‍රස්තුත තෝරාගෙන  රූපකාර්ථවත් ගුණය ඉස්මතු වන ආකාරයේ කවි රචනා කළ කවියකු ලෙස හඳුනා ගැනීමට පුළුවන. සිංහල කවියේ ප්‍රගමනයට දායක වූ මෙතුමා කවියකු මෙන්ම කාව්‍ය විචාරක හා කාව්‍ය පරිවර්තකයකි. නාට්‍ය පිටපත් කිහිපයක්ම සහෘද ජනයාට පිරිනැමූ රණවීර මහතා කවිය වෙනුවෙන්ම කැපවුණු කවියෙකි.

රොබට් ෆ්‍රොස්ට්ගේ කියමනකට අනුව යමින් කවිය පිරිපුන් විය යුතු බවත් නම්‍යශීලී විය යුතු බව සහ කවිය දැඩි නීති රීති වලින් බැද නොතැබිය යුතු යන්නෙහි පිහිටා කවි රචනා කරන ආරියවංශයන් මනුෂ්‍ය චින්තනය පුළුල් වන ලෙස තම කවි නිර්මාණය කිරීමට උත්සාහ ගෙන තිබේ. මෙතුමාගේ කාව්‍ය ග්‍රන්ථ ලෙස සඳ ඇබින්දක්, අතු ඉති, එළිමහල් කවි හා ගුහා කවි, රළින් රළ, රළ සමඟ, ඔය බඩ වවුල්ලු, තිත් ඉම් පෙදෙස්, තුන් පෙති හතර පස් පෙති, සම්මිශ්‍රණ, ගේ කුරුල්ලෝ වී කුරුල්ලෝ හා තවත් මල් යන කෘති පෙන්වාදිය හැකිය.

මීට අමතරව මෙතුමාගේ කාව්‍ය නිර්මාණ අතර කාව්‍ය පරිවර්තනයන්ද හමු වේ. ජපන් කාව්‍ය ඇසුරෙන් පරිවර්තනය කළ විසිරි විසිරි මිණි, රුසියන් කාව්‍ය ඇසුරෙන් පරිවර්තනය කළ ලිලැක් මල් හා චීන කාව්‍ය ඇසුරෙන් පරිවර්තනය කර මිණි පැමිණි කාව්‍ය  පරිවර්තනයන් මේ අතර වේ.

කාව්‍ය නිර්මාණකරණය කාව්‍ය පරිවර්තනය පමණක් නොව කාව්‍ය විචාරය කිරීමද ආරියවංශ රණවීර තම නිර්මාණ දිවිය තුළ සිදුකර තිබේ. ඒ අතර සංස්කෘතික  හා ගොඩ්සිලාකරණය, බටහිර විචාර විධි, ඇමරිකානු කවීන්ගේ නිර්මාණ පිළිබඳ ප්‍රමාණයක විශ්ලේෂණයක් ලෙස ඇමරිකානු කවියට පෙරවදනක්, ටී එස් එළියට නව කවිය වැනි විචාර කෘති හඳුනා ගැනීමට පුළුවන.

දේශීය මෙන්ම විදේශීය සාහිත්‍ය සම්ප්‍රදායන්හි ආභාසයෙන් කවි ලියූ අයකු ලෙස ආරියවංශ තම අනන්‍යතාව ගොඩනගාගෙන තිබේ. එළියට්, පවුන්ඩ්, ෆ්‍රොස්ට් වැනි විදේශීය කවියන්ගේ ඇසුරක් රණවීරගේ කාව්‍ය නිර්මාණ තුළ දක්නට ලැබේ. රණවීරයන් එම කවියන් පවා ඉක්මවා යන ආකාරය කවි නිර්මාණය කළ බව අමරකීර්ති ලියනගේ වැනි විචාරකයන් පවසයි. එතුමාගේ කවි තුළ දැකිය හැකි යථෝක්ත ස්වරූපය විදහා දැක්වෙන කාව්‍යය නිර්මාණයක් ලෙස අතු ඉති කාව්‍ය ග්‍රන්ථයේ 'පැනෙන සිල්' නැමැති කවිය හඳුනාගත හැකිය.

"සිල්
දිරා යන
සරුංගලය 
බෝඅත්තක
සිල්
අරගෙන"

(දෝතක් කවි - ආරියවංශ රණවීරගේ තෝරාගත් කවි එකතුව)

රණවීරයන්ගේ කාව්‍ය නිර්මාණ තුළ සෑම මොහොතකම කවියේ සංක්‍ෂිප්ත බව අගය කරයි. කාව්‍යානුභූතයට එකඟ වන්නා වූ වචන යොදාගෙන සංක්ෂිප්තව තම හැඟීම් ප්‍රකාශ කිරීම කවි නිර්මාණයේදී ආරියවංශ රණවීර මහතා යොදාගෙන තිබේ. මෙය ආරියවංශ රණවීර තම කවි නිර්මාණය සඳහා යොදාගත් අනන්‍ය ලක්ෂණයක් වන අතර මේ ආකාරයට සංක්ෂිප්ත කාව්‍ය හැඩගස්වා ගැනීමේදී ජපන්, හයිකු කාව්‍ය  සම්ප්‍රදාය එතුමා අභාසය කොට තිබෙන බව කිව හැකිය.

"අල්ලා බලන්න
මේ ගිලිහුණු පියා පතෙහි
තවමත් 
ගමනේ උණුහුම "

ඉහත දැක්වෙන කවිය ආර්යවංශ රණවීර කවියේ ශුද්ධ බව අගය කරමින් ලියූ කවියකි. වචන කීපයකින් තම අදහස් අනෙකාට හැඟීම් උද්දීපනය වන ආකාරයට ඉදිරිපත් කිරීම තුළින් රණවීරගේ කවීත්වය මැනවින් විශද වෙයි.

හයිකු කවි වල පරමාර්ථය හුදු කවි ලිවීම පමණක් නොවන අතර සෞන්දර්යාත්මක වින්දනයක් පාඨකයාට ගෙනහැර පෑමයි. මේ අනුව යමින් සංක්ෂිප්ත කවිය තුළ ප්‍රබල කාව්‍යෝක්ති යෙදීම තුළින් කවියේ රසඥතාව වැඩි කිරීමට ආරියවංශ රණවීර සමත් වී තිබේ.

ආරියවංශ රණවීරගේ කාව්‍ය නිර්මාණය තුළ දැකිය හැකි එතුමාට අනන්‍ය වූ කාව්‍යාත්මක ලක්ෂණ ලෙස, කාව්‍යානුභූතියේ බාහිර රූපය නිරූපණය කරන අයුරින් කාව්‍ය ආකෘතිය ගොඩනැගීම පෙන්වාදිය හැකිය. එස්රා පවුන්ඩ් සහ ඊ. ඊ කමිංස්ගේ නිර්මාණවල ආභාසය ලබා එතුමා මේ ආකාරයට කවි ලියන්නට ඇතැයි සිතිය හැකිය. කවියෙන් විශද වන්නා වූ අර්ථය දෘශ්‍ය රූපාත්මක සන්නිවේදනයට ගත් උත්සාහයක් ලෙස මෙකී ස්වරූපයේ දැක්විය හැකිය. ආරියවංශයන්ගේ කාව්‍ය නිර්මාණයක් වන ඔය බඩ වවුල්ලු, ඉවුරු හා නිපාත යන නිර්මාණ තුළින් මේ ආකෘතික ලක්ෂණ දැකිය හැකිය.

"හී
 න් 
 ඉ
 ර
 ක් 
 ලෙසින
 කුළෙන්
 කුළේ
 එළඹ මදක් රැඳී නැවත    සුදෙන් සිනා නඟන
 කුඩා දියති පුතුණු
 උරෙහි හුවා රකිති
 දෙපස තුරුණු ඉවුරු"

(දෝතක් කවි)

කුඩා දියති කුළෙන් කුළට ගලා යමින් අවසානයේ ඉවුරු අතර රැඳෙන ආකාරය දෘශ්‍යමය ලෙස සන්නිවේදනය කරන්නට ඉහත නිර්මාණය තුළින් ආරියවංශ රණවීර උත්සාහ ගෙන තිබේ. ආකෘතිමය වෙනසක් පාඨකයාට සමීප කරන අතරම තම කවීත්වය ගෙනහැර පාන්නටද ආරියවංශ කවියා අමතක නොකළේය. කුළෙන් කුළේ, දියති පුතුන්, තුරුණු ඉවුරු වැනි රූපකාර්ථවත් වදන් යොදා ගනිමින් එතුමා තම කාව්‍ය නිර්මාණය කර තිබීමෙන් එතුමාගේ කවීත්වය මැනවින්  විශද වේ.

සිංහල කවිය, ජන කාව්‍ය  සම්ප්‍රදාය හා පෙරදිග කවිය තුළ සුලබව දක්නට ලැබෙන එළිසමය, නව්‍ය අලංකාර යෙදීම්, අනුප්‍රාසාත්මක යෙදුම් යොදමින් කවි නිර්මාණය කිරීම වෙනුවට බටහිර කවියට සමීප  කර නිර්මාණය කරමින් නූතන කවියට නව්‍ය බවක් ලබාදීමට ආරියවංශ  රණවීර තම නිර්මාණ තුළින් උත්සාහ ගෙන තිබේ.

රණවීර තම කවිය තුළින් නව මංපෙත් සොයා ගිය අතර ඒ ගමන් මඟ තුළ උපහාසය දැනෙන තැනක නැවතී කවි නිර්මාණය කරයි. එලෙස නිර්මාණය කළ නිර්මාණයක් ලෙස පෙරහුරුව කාව්‍යය නිර්මාණය හඳුනාගත හැකිය. එළාර සමඟ සටන පමා කරන පිය රජ කෙරෙහි කිපෙන ගැමුණු කුමරු සිය පියා වෙත ස්ත්‍රී ආභරණ යැවීමේ අවස්ථාව කවිය තුළින් නව්‍යාකාරයෙන් පාඨකයාට සමීප කරන්නට ඔහු සමත්ව තිබේ.

තවද එක් මූලික රූපයක් මත පදනම් වී අපූරු ලෙස පද්‍ය නිර්මාණය කර තිබීමද එතුමාගේ අනන්‍යතාව හා කවීත්වය විශද කරන්නකි. උදාහරණයක් ලෙස එතුමාගේ දොළොස් රළ කාව්‍ය කෘතියේ වූ 'මල් ලද සමය' යන කාව්‍ය නිර්මාණය හඳුනා ගැනීමට පුළුවන.

"මල් ලද සමය
ඔබ ඉන්න
බලාගෙන
බලාගෙන
පාර බඩට වී
අතු කිනිති
කිනිති ගානේ
මල්
වළලු
ලාගෙන 
මල් ලද සමය මෙය
ඉන්න
මම අසා බලන්නම්
සුළඟින් 
පුළුවන්ද 
කියා පමාවී
හමන්න "

(දෝතක් කවි)

මල්වර වූ යුවතියක් වසන්තය සුපුෂ්පිත කරන මල් ගසක් ඔස්සේ ඉඟිකරන්නට කවියා මෙහිදී ගෙන ඇති උත්සාහය අගනේ ය. මලින් පිරුණ සුන්දර ගසක් නොබෝ දිනකින් මල් පරවී වැටී එකී සුන්දරත්වය වියැකී යයි. සුන්දර යුවතියකගේ ස්වභාවයද  එයයි. අනිත්‍යතාව මොහොතකට හෝ පමා වන ලෙස කවියා ප්‍රාර්ථනා කරයි. මල් ගසක් රූපකයක් ලෙසගෙන ඒ වටා ගෙතූ කාව්‍යය නිර්මාණයක් ලෙස ඉහත නිර්මාණය වැදගත් වෙයි.

පරිසරය සම්බන්ධ නිර්මාණකරණය තුළින්ද රණවීර කවියාගේ කවීත්වය හා අනන්‍යතාව විශද වේ. එතුමාගේ කාව්‍ය සංග්‍රහ තුළ එවැනි කාව්‍ය නිර්මාණ ගණනාවක් දැක ගත හැකිය.

"තණ පඳුරක්මි
මතු වෙමින්
බිම් ගැබින්
දුබල
නොගැඹුරු
මුල්
මතින්
තුරු
බොහෝ
උස් ය
මට
වඩා
ගැඹුරු
මුල් ඇතිව
වැඩී උස්ව
හිඳ
දකිති බොහෝ දුර
විඳිති
සුළං සුව
කැපෙති
අනතුරුව
වැටෙති
බිම
දිගට
නිෂ්ක්‍රීයව
මැඩෙමි
ගෝ කුරක
ඉලෙමි
හොඹු වලින
ගව මහිස
වැඩෙමි
යළි සරුව
වදිමි
දරු පිරිස
වසමි 
එක පැහැර
හාත්පස"

තණ පඳුරක ආත්මභාෂණයක් සේ ලියවෙන පද්‍ය පන්තිය උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කර තිබේ. තණ පඳුරක සහ ගසක යථා ස්වභාවය වස්තුවිෂය කරගනිමින් ඉහළ ධනපති පංතිය හා නිර්ධන පංතිය අතර පවත්නා පංති විෂමතාව මෙම නිර්මාණය හරහා ඉදිරිපත් කරන්නට ආරියවංශ කවියා සමත් වී තිබේ.

වචනයෙන් වචනයට පාද බෙදමින් කවි නිර්මාණය කිරීම ආරියවංශ රණවීර කවියාට ආවේණික කාව්‍යාත්මක ලක්ෂණයකි. එතුමාගේ එකි කාව්‍යාත්මක ලක්ෂණය මැනවින් කුලුගන්වන කාව්‍ය නිර්මාණයක් ලෙස නොතාරිස් කන්තෝරුව  කාව්‍යය නිර්මාණය හඳුනාගත හැකිය.

සංක්ෂිප්ත බව අගයමින් සංකල්ප රූප දනවන ආකාරයේ රූපකාර්ථවත් බස් වහරක් යොදා ගනිමින් සියුම් වින්දන ශක්තියෙන් හෙබි සහෘදයන්ට සමීප වීමට ආරියවංශ රණවීර කවියා තමන්ටම අනන්‍ය වූත් ඉහළ නිර්මාණශීලීත්වයකින් යුත් කවි ලිවීමට උත්සාහ ගත් නූතන කවියකු ලෙස පැහැදිලිය.  එකී කාව්‍යමය අත්හදා බැලීම් හේතුවෙන් සිංහල කාව්‍ය සම්ප්‍රදාය නවමු ආකාරයකට ගෙන හැර පාන්නට ආරියවංශ කවියා සමත් වී තිබෙයි.

අමායා කුලරත්න.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required