භාෂාව යනු අර්ථය ප්‍රකාශ කිරීම සඳහා මිනිසුන් විසින් භාවිතා කරන ශබ්ද, සංකේත සහ රීති සමූහයකින් සමන්විත සන්නිවේදන පද්ධතියකි. සමාජ ව්‍යුහය පවත්වාගෙන යාමේ ප්‍රධාන වාහකයා වන භාෂාව මිනිස් සමාජයේ මූලික අංගයකි. ඒ පුද්ගලයින්ට සිතුවිලි, හැඟීම්, අදහස් සහ සංකල්ප ප්‍රකාශ කිරීමට මෙන්ම අන් අය සමඟ අන්තර්ක්‍රියා කිරීමටත් සහයෝගයෙන් කටයුතු කිරීමටත් ඉඩ සලසයි. සංස්කෘතිකමය සහ භූගෝලීය වශයෙන් භාෂාවේ වෙනස්කම් දැකිය හැකි අතර ඒවා කතා කිරීමේදී සහ ලිවීමේදී විවිධත්වයක් ගනියි. මානව සංජානනය සංස්කෘතිය සහ අනන්‍යතාව හැඩ ගැසීමේදී භාෂාව තීරණාත්මක කාර්යයක් ඉටු කරනු ලබයි. ෆර්ඩිනන්දි සොසියෝ ප්‍රකාශ කරන පරිදි භාෂාව ස්වාභාවික නිර්මාණයක් වූවක් නොව එය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දකි. මෙකී වූ භාෂාව නවෝත්පාදනය සහ සංස්කෘතික වෙනස්කම් වැනි ක්‍රියාවලීන් සමඟ කාලානුරූපීව පරිණාමයට පත් වේ.
ශ්‍රී ලංකාවේ මව් භාෂාව සිංහල වන අතර දෙමළ ඉංග්‍රිසි භාෂාවන් ද ප්‍රමුඛ කොට සලකයි. ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතිය ගොඩනැඟී ඇත්තේ පුරුෂ මූලික වීම නිසාත් එකී සමාජයේ මිනිසා විසින් නිර්මිත භාෂාවද පුරුෂ මූලික ස්වරූපයක් ගනී. භාෂාව තුළින් යථාර්ථය පිළිබිඹු කරන බව පැවසෙන නමුත් ස්ත්‍රීවාදය පැමිණීමත් සමඟ මෙය වෙනසකට ලක් විය. එහිදී භාෂාව හදන්නේ මිනිසුන් නම් යථාර්ථය හදන්නේද මිනිසුන් ද යන ගැටලුව මතුවිය.
ඒ අනුව ලාංකික කාන්තාවට තම අත්දැකීම්, අදහස් හා චින්තනයන් අනෙකා සමඟ හුවමාරු කිරීමට සහ සාකච්ඡා කිරීමට ඇත්තේ සීමිත වචන ප්‍රමාණයකි. ස්ත්‍රිය පරයා පුරුෂයාට නැඟී සිටිය හැකි ලෙස භාෂාව නිර්මාණය වී තිබේ. එනම්, භාෂාව තුළින් පුරුෂයකු ප්‍රතිනිෂ්පාදනය කර ලැබ ඇත්තේ, පෞරුෂමත් අයකු බව හැඟවෙන ආකාරයට ය. තවද, සුමංගල ශබ්ද කෝෂයේ සඳහන් වන ආකාරයට පුරුෂයා යන්නෙහි අර්ථය 'ප්‍රථමයා' බව දක්වා තිබේ. එමඟින්ම පැහැදිලි වන්නේ, පුරුෂයාට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් කාන්තාව දෙවැන්නා බවට පත් කිරීමට පුරුෂ මූලික භාෂා රටාව සමත් වී ඇති බවයි
කාලාන්තරයක් තිස්සේ අනුගමනය කළ භාෂා රටාව ඒකාකෘතිකරණයට ලක් වීම තුළින් මෙවැනි අදහස් සමාජගත වී තිබේ. ලාංකික සමාජයේ වැසියන් බහුතරයක් කතා කිරීම සහ ලේඛනය සඳහා භාවිතා කරනුයේ සිංහල භාෂාවයි. මෙහිදී කෙනෙකුගේ ලිංග භේදය උපකල්පනය කරමින් භාෂාව හැසිරවීම ලාංකික සමාජය තුළ දැකිය හැකි සුලභ කරුණක් වන්නේ ය. අධ්‍යාපනික, සංස්කෘතික, ආගමික සාහිත්‍ය සහ මාධ්‍යය අවකාශයන්හි මෙකී වූ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අහිමි කරන අන්තර්ගතයන් ප්‍රතිනිෂ්පාදනය කිරීම දැකගත හැකිය.
සිංහල භාෂාව තුළ ජනකතා සාහිත්‍ය තුළ කාන්තාව සෞන්දර්ය වස්තුවක් බවට නිර්මාණය කරනු ලබයි. කව් සිළුමිණෙහි එන කුස ජාතකය හරහා පබාවතී චරිතය සෞන්දර්ය වස්තුවක් බවට ඌණනය කර තිබීම දැකිය හැකිය. තවද පුවත්පත් වාර්තා තුළින්ද කාන්තාව ලිංගික වස්තුවක් බව යථාර්ථවත් කරනු දැකිය හැකිය. එනම් කාන්තාවකට සම්බන්ධ යම්කිසි පුවතක් වාර්තා කිරීමේදී කාන්තාවගේ බාහිර ස්වරූපය මතු කරමින් ඇයට ලිංගිකමය වටිනාකමක් ලබා දීමට කටයුතු කරයි.
උදාහරණයක් වශයෙන් 2024 පෙබරවාරි 20 වන දි ලංකාවේ ජනප්‍රිය පුවත්පතක පළ වූ පුවතක් වූ බොරැල්ලේ ප්‍රදේශයෙන් අල්ලා ගත් කුඩුකාරයන් අතර කාන්තාවක්ද සිටින බව ප්‍රකාශ කරමින් එම සැකකාර කාන්තාවගේ බාහිර ස්වරූපය මතු කරමින් එම පුවත වාර්තා කොට තිබුණි. "බොරැල්ලෙන් අල්ලා ගත් කුඩුකාරයන් අතර ලස්සන කොණ්ඩෙ ටින්ට් කළ සුදුම සුදු ලස්සන තරුණයක්ද සිටියා ය."
පුවතට අදළ නොවන කාන්තා බාහිර රූපය ඉස්මතු කොට දැක්වීම සහ ඒ ඔස්සේ පුවතට අනවශ්‍ය භාවාතීශයක් ලබා දෙමින් කාන්තාව ලිංගික වස්තුවක් බව ඇඟවුම්කරණය කිරීමට පුවත්පත් වාර්තාකරු මෙහිදී උත්සාහ කර තිබේ.තවද එකම වරදට කාන්තා සහ පිරිමි යන දෙකොට සැම අත්අඩංගුවට පත් වූ විටකදී පවා ඇතැම් මාධ්‍ය වාර්තාකරණයන් තුළින් ඊට සම්බන්ධ කාන්තාව පමණක් ඉස්මතු කොට දක්වයි එසේ කරමින් එම වරදෙහි වැඩි වගකීම කාන්තාවට පැවරෙන බව පෙන්වා වරද යන ක්‍රියාව තුළ කාන්තාව ඉස්මතු කිරීමක් සිදු කරනු ලබයි.
ස්ත්‍රිය පිළිබඳ සමාජ භූමිකාව ප්‍රතිනිෂ්පාදනය කරන සමාජය තුළ එම කාර්යය නොපිරිහෙළා ඉටු කරන පිරිසක් වශයෙන් ජනමාධ්‍යය සහ සමාජ මාධ්‍යය අවකාශයන් හඳුනාගත හැකිය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ කතිකාවතට නැඟෙන ස්ත්‍රියට සහ පුරුෂයන්ට යන දෙපාර්ශවයටම සම තැන් ලැබිය යුතුයි යන්න නොසලකා හරිමින් සමාජ සම්මුතියේ පිළිගත් සාම්ප්‍රදායික ස්ත්‍රී ස්වභාවයන් ප්‍රතිනිෂ්පාදනය කිරීමට එම මාධ්‍ය හරහා කටයුතු කරයි.
ස්ත්‍රීන් සහ පිරිමින් සම්බන්ධයෙන් වන මහජන ආකල්පය තුළ බොහෝ පොදු සමාජ අකල්පයන් හැඩගැස්වීමෙහිලා මාධ්‍යය දරන භූමිකාව කිසිසේත්ම සුළුපටු වන්නේ නැත.
ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ස්ත්‍රී භාවය සම්බන්ධයෙන් වන ඒකාකෘති කිරීම් වලින් එපිටට ගිය ස්ත්‍රී පුරුෂ සමාජ භාවයන් පිළිබඳව මනා සංවේදීත්වයකින් යුත් වාර්තාකරණයක් සඳහා මාධ්‍ය පුරුදු පුහුණුවීම් තුළින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගොඩනැංවීමට හැකි වනු ඇත.
භාෂාව යනුවෙන් හැඳින්වෙන්නේ, අක්‍ෂර වචන මත පදනම් වූවක් හරහා කිසියම් දෙයක් සන්නිවේදනය වීමක්ම නොවන අතර රූපමය සහ ඉංගිතමය වශයෙන්ද යමක් සන්නිවේදනය කිරීම සිදුවිය හැකිය. එලෙස රූපමය භාෂාවක් යොදා ගනිමින් යමක් සන්නිවේදනය කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ වූ දැනුවත්භාවයක් අවශ්‍ය වන අතර එහිදී දැනුවත්භාවයකින් තොරව රූපමය භාෂාව හරහා යම්කිසි දෙයක් සමාජගත වීමේදී ස්ත්‍රිය පුරුෂයා පිළිබඳ වූ සාම්ප්‍රදායික යතිමතයට එකඟව ඒවා නැවත නැවත ජනනය වීම සිදුවිය හැකිය. එමඟින් සිදුවන්නේද කාලාන්තරයක් මුළුල්ලේ භාෂාව මඟින් ගොඩනැගුණු ව්‍යාජ යථාර්ථය නැවත ප්‍රතිනිෂ්පාදනය වීමකි.
මෙලෙස දෘෂ්‍යම රූප රාමු වශයෙන් සන්නිවේදනය කරනු ලබන මාධ්‍ය වශයෙන් වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය, චිත්‍රපට, කාටූන් යනාදිය හඳුනාගත හැකිය. ඒවායෙහි අන්තර්ගතයන්ට අනුව සාම්ප්‍රදායික ගැමි කාන්තාව සහ නගරබද කාන්තාවගේ ස්වරූපය ස්වරූපමය නැතහොත් දෘශ්‍යමය භාෂාවක් උපයෝගී කර ගනිමින් ප්‍රතිනිෂ්පාදනය කරනු ලබයි.
පුරුෂයන්ට සාපේක්ෂව ස්ත්‍රියේ සහ අනෙකුත් ලිංගිකත්වයන් දරන පුද්ගලයින්ට භාෂාව හරහා දැඩි විවේචනයන්ට මුහුණ දීමට සිදුවේ. එනම් සංක්‍රාන්ති ලිංගිකයන්ට තම අදහස්, සිතුම් පැතුම්, අවශ්‍යතා ප්‍රකාශ කිරීමට අවශ්‍ය ඉඩකඩ ශ්‍රී ලාංකික සමාජ භාෂාව තුළ නොමැති වීම කණගාටුවට කරුණකි.
සංක්‍රාන්ති ලිංගිකයකු වන ජනප්‍රිය රංගන ශිල්පිණියක සහ නිරූපිකාවක මේ පිළිබඳ අදහසක් තම සමාජ මාධ්‍ය තුළ පළ කරමින් දක්වා තිබුණේ ලංකාව තුළ සංක්‍රාන්තික ලිංගිකයන්ට තම අදහස් සිතුම් පැතුම් සහ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සමාජයෙන් කිසිදු ඉඩකඩක් නොතිබෙන බවයි. ඒ වෙනුවෙන් හඬක් නැඟීමට සහ අදහස් ඉදිරිපත් කිරීමට තරම් වටපිටාවක් ලාංකික වපසරිය තුළ හැඩ ගැසී නැති බවයි.ලාංකික සමාජ වපසරිය තුළ තවදුරටත් කාන්තාව ද්‍රව්‍යකරන්නට ලක්ව තිබේ. භාෂාව හරහා එය පෝෂණය වන අතර තරමක් ස්වරූපී තරුණියන් 'කෑල්ල' වශයෙනුත් ආඩම්බර තරුණියන් 'බඩුව' වශයෙනුත් ද්‍රව්‍යකරණයට ලක් කිරීම භාෂාව හරහා සිදුව ඇත. එමෙන්ම පුරුෂයන්ද පොර, බුවා, ඩයල් එක වැනි පුරුෂයින්ට පමණක් පොදු ව්‍යවහාර වලින් ඇමතීම සිදු වේ.
එමෙන්ම කාන්තාව පිළිබඳ ගොනුකර ඇති පොදු රාමුවකට අනුව 'ස්ත්‍රිය ස්වභාවයෙන්ම සුකුමාලය, මෘදුය, සංවේදීය' යන්න සලකා එලෙස ඔවුන්ව වර නැඟීම දැක ගත හැකිය.
තවද ලාංකික සමාජයේ කිසියම් කාන්තාවක් අධික ලෙස ශ්‍රමය වැය වන කාරියක නිරත වුවහොත් ඇය 'යකඩ ගැහැණිය' වශයෙන් වර නැඟුන ද කිසිදු විටෙක එලෙස වෙහෙසි වැඩ කරන පුරුෂයෙකු යකඩ පුරුෂයෙක් යැයි කීමක් සිදුවන්නේ නැත. ශ්‍රමය වැඩියෙන් වැය වන වැඩ කිරීම පිරිමින් පමණක් කළ යුතු යන සාම්ප්‍රදායික මතවාදයන්ට අනුව එලෙස භාෂාව සැකසී තිබේ.
තවද එලෙසින්ම ස්ත්‍රියට සහ පුරුෂයාට පමණක් පොදුවේ සම්මත කරගත් වචන සිංහල භාෂාව තුළ දැකගත හැකිය. උදාහරණ වශයෙන් මිනීමරුවා, කම්කරුවා, රණවිරුවා යන වචන පුරුෂ මූලිකව භාවිත කිරීමටත් ගණිකාව, අංගනාව, හෙදිය, නළගන යන වචන කාන්තාව මූලික කොටගෙන ව්‍යවහාර කිරීමත් ලාංකික භාෂාව ව්‍යවහාරය තුළ දැකගත හැකිය. එම වචනවල වාච්‍යාර්ථ අදහස කාන්තාව සහ පුරුෂයාට පමණක් පොදු යැයි සම්මතයක් ගොඩනඟා ගෙන කටයුතු කිරීමට ලාංකික සමාජය හුරුව තිබේ.
කාලානුරූපීව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වෙනස්කම් ඇතිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ භාවිතයට ගැනෙන භාෂාවන්හි ද ඇතැම් වචනවල වෙනසක් සිදුවීම් භාෂාවේ සිදු වූ පරිණාමයේ තත්ත්වයක් ලෙස හඳුනාගත හැකිය. තවදුරටත් ස්ත්‍රිය සමාජයේ යැපෙන්නියක් බවට පත් නොවීම සහ විවිධ රැකියා තනතුරු සඳහා ඔවුන් පත්වීමත් සමඟ පුරුෂ මූලිකව තිබූ එකී තනතුරු නාමයන්හි වෙනස්කම් සිදුව ඇත.
(charmen - chairperson / Batmen - Bater)
ස්ත්‍රීන් සහ පුරුෂයින්ට අමතර වෙනස් සංක්‍රාන්ති ලිංගික පිරිස් සමාජය තුළ බිහිවීමත් සමඟ සිංහල භාෂාවේ ඔවුන් හැඳින්වීමට නව වචන මාලාවක් හඳුන්වාදීමක් සිදුව ඇත. සමලිංගික /සංක්‍රාන්ති ලිංගික වැනි වචන භාෂාවට එකතු වන්නේ ඒ හේතුවෙනි .
මෙලෙස ලාංකික භාෂාව තුළ යම් වෙනස්කම් සිදුකිරීම තුළින් සම්පූර්ණ වශයෙන් නොවුනද අර්ධ වශයෙන් හෝ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීමටත් පුද්ගලයකුගේ බාහිර ස්වරූපය සලකා කරන භාෂා ප්‍රයෝග වළක්වා ගැනීමටත් හැකියාව උදා කරගත හැකිය.
කෙසේ වෙතත් අවිවාදාත්මකව පිළිගත යුතු සත්‍ය වන්නේ භාෂාත්මක වචනය සහ අදාළ වස්තුව සමඟ කිසිදු ස්වාභාවික සම්බන්ධයක් නොමැති බැවින් එහි සම්බන්ධය ගොඩනැඟී ඇත්තේ මිනිසුන් ගොඩනඟා ගත් සම්මතයක් නිසාත් ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කතිකාවත් ගොඩනඟන මෙවැනි කාලවකවානුවක් තුළ එකී භාෂා ප්‍රයෝග වෙනසකට ලක් කිරීමට උත්සාහ ගැනීම වරදක් නොවන්නේය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මධ්‍යස්ථ තලයක පිහිටා භාෂාව භාවිතා කිරීමේ හැකියාව පවතින අතර ඒ සඳහා ස්ත්‍රී පුරුෂ සමාජබව ඇඟවුම් කරන 'ඔහු' හෝ 'ඇය' වැනි යෙදුම් වෙනුවට 'ඔවුන්' වැනි යෙදුම් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මධ්‍යස්ථව තබා භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ.
අමායා කුලරත්න.