/
/
title icon රට අනුරට
රට අනුරට
Suhansi Weerasinghe
3 weeks ago
Share:
රට අනුරට

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස සැප්තැම්බර් 21 වන දා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මත ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරඟ කළ අනුර කුමාර දිසානායක මහතා තේරී පත්විය. ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය පිළිබඳ සලකා බැලීමේදී ඒ ඉතාමත් නිර්මාණශීලී මෙන්ම ආකර්ශනීය ලෙස පෙළගැස්වී තිබූ බව නිරීක්ෂණය කළ හැකිය. මෙම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ භාවිතා කළ ප්‍රධාන තේමා ගීතය වන රට අනුරට ගීතය ඉතා ජනප්‍රියත්වයට මෙන්ම ජනාදරයට පත්වූ ගීතයක් විය. මේ සූදානම මෙම ගීතයේ පදමාලාවේ එන සුවිශේෂී පද හතර,
"අද මුළු රට - එක මිටකට
සුභ නැකතට - රට අනුරට"  යන්න අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා ලබාදුන් පිටුබලය කවරාකාරදැයි සොයා බැලීමටයි.

"අද මුළු රට - එක මිටකට
සුභ නැකතට - රට අනුරට" යන ඉතා සරල බසින් ලියැවුණු පද හතර බොහෝ වාර ගණනක් ඔහුගේ තේමා ගීතය තුළ යෙදී ඇත. මෙම පද හතර තේමා ගීතයට පමණක් සීමා වූවක් නොවේ. අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළදී පෝස්ටර්, ජනහමු සහ සමාජ මාධ්‍ය හා රූපවාහිනී දැන්වීම් තුළද මෙම පද හතර නිරන්තරයෙන් යොදා ගන්නා ලදී. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම පද හතර සඳහා යොදාගෙන ඇති භාෂාව ඉතාමත් සරල වීමයි. එනම් ඕනෑම තරාතිරමක පුද්ගලයෙක්ට සහ විශේෂයෙන්ම සිංහල භාෂාව මව් භාෂාව නොවන පුද්ගලයකුට වුවද ඉක්මනින් අවබෝධ කරගත හැකි ආකාරයේ භාෂාවක් මේ සඳහා යොදාගෙන ඇත. රට අනුරට යන පදය අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළදී යොදා ගන්නා ලද ප්‍රධාන පාඨයයි. එය ඔහුගේ නමේ උච්චාරණයට අනුකූල ව නිර්මාණශීලී ව ගලපමින් ගොඩනගන ලද්දකි. මෙමගින් ඔහුගේ නම ජනතාවගේ මනස තුළ ස්ථාපනය කිරීමට මෙන්ම, "රට අනුරට" යන වචන දෙකෙන් රටේ සිටින සියලුම ජනතාව මෙවර අනුරට ඡන්දය ලබා දෙන බව ද රට පත්ව ඇති අර්බුදකාරී තත්වයෙන් රට මුදවා ගැනීමට නම් රටේ පාලනය අනුරට හිමිවිය යුතු ය යන අර්ථයන් ඡන්දදායකයන්ට සමීප කිරීමට සාර්ථක උත්සාහයක් ගෙන ඇත.

එමෙන්ම මෙම පද හතරෙන්  අරුත් ගැන්වෙන මුඛ්‍ය අදහස වන්නේ, මුළු රටම එකට එකතු වී ඇත්තේ සුභ මොහොතින් රට අනුරට භාරදීමට බවයි. මෙහිදී "එක මිටකට" යන වචන දෙක භාවිතා කිරීම ඉතා නිර්මාණශීලී ය.
එය ශ්‍රී ලාංකික සරල සිංහල බස් වහරට ඉතා සමීප ය. එකමුතු වීම හා එක්සේසත් වීම යන වචන වල අර්ථය සරල සිංහල කථන භාෂාවෙන් මතු කරගැනීමට 'එක මිටකට" යන වචන ද්විත්වය සාර්ථකව යොදාගෙන ඇත. "එක මිටකට" යන සරල වචන දෙකෙන් ශ්‍රී ලංකාව තුළ වන ජාතිවාදී, ආගම්වාදී සහ වර්ගවාදී භේදයන් කිසිවකින් තොරව ජනතාව ඔහුගේ දේශපාලන ව්‍යාපාරය වටා එක් රොක් වී ඇති බව නිර්මාණශීලීව ජනතාවට ඒත්තු ගැන්වීමට හැකි වී ඇත.

"අද මුළු රට - එක මිටකට" යන්නෙහි 'අද' යන වචනය යොදා ගැනීම ඉතා සුවිශේෂී ය. අතීතයේ තිබූ සියලුම ආකාරයේ බෙදීම් හා මතිමතාන්තර ආදිය අමතක කරමින් නවමු මුහුණුවරකින් ජනතාව එකතු විය යුතු බව ඡන්දදායකයන්ට ඒත්තු ගැන්වීමට මෙමඟින් හැකි වී ඇත.

"සුභ නැකතට" යන වචන දෙක, ශ්‍රී ලාංකික සංස්කෘතික වපසරිය තුළ ඡන්දදායකයාගේ මනස ක්‍රියාත්මක වන ආකාරය ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන භාවිතා කොට ඇත. ජාතික ජන බලවේගයට එල්ල වූ අතිවිශාල චෝදනාවක් වූයේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය වෙනස් කිරීමට හා පරිහානියට පත් කිරීමට ඔවුන් කටයුතු කරන බවයි. දළදා පෙරහර නැවැත්වීම, ආගමික ස්ථානවලට විවිධාකාරයේ බාධා පැනවීම සහ ආගමික විශ්වාසයන්ට ගෞරව නොකිරීම යනාදී විවිධ චෝදනා ජාතික ජන බලවේගයට එල්ල විය. ඔවුන්ට එල්ල වූ මේ ආකාරයේ විවිධ වූ චෝදනාවලට ඉතාමත් නිර්මාණශීලීව සරල භාෂාවකින් කෙටියෙන් පිළිතුරු දීමට මෙම කෙටි වචන ද්විත්වය සමත් වී ඇත. "සුභ නැකතට  - රට අනුරට" යන්නෙන් ශ්‍රී ලංකාවේ නව පුනරුදයක සහ නව දේශපාලන යුගයක ආරම්භය, රට අනුරට සුභ මොහොතින් භාර දෙමින් සිදුවන බව මෙමගින් අරුත් ගැන්වීමට උත්සාහ කොට ඇත. ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක පත්වුවහොත්  ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, සමාජයට මෙන්ම සංස්කෘතියට විවිධාකාරයේ සෘණාත්මක බලපෑම් එල්ල වන බව මෙන් ම  මේ මුළු රටට ම ඍණාත්මක  තත්ත්වයකය ට මුහුණ දීමට සිදුවන බව අනුර කුමාර දිසානායක මහතාට ප්‍රතිවිරුද්ධ ව ජනාධිපතිවරණයට තරඟ වැදි බොහෝ අපේක්ෂකයන් තම තමන්ගේ ප්‍රචාරණ කටයුතු ඔස්සේ ජනගත කළ මතයකි. මෙම මතයට ඉතාමත් සාර්ථක සහ ඍජු පිළිතුරක් දීමට "සුභ නැකතට - රට අනුරට" යන පද ද්විත්වය යොදා ගෙන ඇත. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීම රටට  සුභදායී තත්වයක් ගෙන එන්නක් බව  ප්‍රත්‍යක්ෂ කිරීමට ද මෙම පද ද්විත්වයට හැකි වී ඇත.

මෙලෙස අති සාර්ථක ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සිදුවූ අතර, 
"අද මුළු රට - එක මිටකට
සුභ නැකතට - රට අනුරට"
යන පද හතර ඔහුගේ ජයග්‍රහණය කෙරෙහි ජනතාවගේ මනාපය මනස තුළ ඔහු කෙරෙහි විශ්වාසයක් මෙන් ම කැමැත්තක් ඇති කිරීමට අති විශාල පිටුබලයක් ලබා දී ඇත.
අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවෙන් නවවැනි විධායක ජනාධිපති ලෙස පත්වීම, ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කරයි.

අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම්!  

සුහංසි වීරසිංහ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required