ශ්‍රී ලාංකීය නර්තන කලාවේ ශාස්ත්‍රීය මුද්‍රාව ලෝක සිතියම් ගත කළ , ලාංකීය පළමු වෘත්තීය නෘත්‍යවේදනීය වජිරා චිත්‍රසේනයන් ඊයේ දිනයේ(23) දිවි රඟමඩලෙන් සමුගත්තාය. සාම්ප්‍රදායික නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය එතුමිය මිය යන විට 92 වන වියෙහි පසු වූවාය.
කාන්තාවන්ට එතරම් වැදගත් ස්ථානයක් නොතිබුණු ලාංකීය මුල් කාලීන නාට්‍ය හා නර්තන සංස්කෘතිය තුළ තම නාමය ඉහළින්ම රැන්ඳූ වජිරා චිත්‍රසේනයන් 1932 වර්ෂයේ මාර්තු මස 15 වන දින සිය ජන්ම ලාභය ලැබීය. හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මෙතුමිය ඉන්පසු කළුතර බාලිකාවෙන් ද, පසුව කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයෙන් ද තම අධ්‍යාපනය ලැබීය. කලාශූරී චිත්‍රසේනයන්ගේ සිසුවියක ලෙසින් සිය නර්තන දිවිය ආරම්භ කළ වජිරාවෝ විසිවන සියවසෙහි ලංකාවේ අග්‍රගණ්‍ය නර්තන ශිල්පිණිය ලෙසින් සැලකුම් ලැබුවාය. ඇයගේ මහත් වූ ප්‍රතිභාවත්, විශිෂ්ට ශිල්පීයත්වයත්, දීර්ඝ කාලීන පර්යේෂණයන් ඔස්සේ උඩරට නර්තන කලාවේ කාන්තා භූමිකාව උදෙසා මංපෙත් විවර කෙරීය.
'විධුර' නාට්‍යයෙහි නාග කන්‍යාවකට පණ පොවමින් එතුමිය නාට්‍ය කලාවට ප්‍රවිෂ්ට විය. වජිරාවන්ගේ ප්‍රථම ප්‍රසිද්ධ රංගනය සිදුකරන ලද්දේ 'පැජන්ට් ඔෆ් ලංකා' ප්‍රසංගයේය. එහිදී චිත්‍රසේනයන් විසින් නිර්මාණය කරන ලද 'රාමායනය' නර්තනාංගයේ රන්මුවැත්තිය ලෙස ඇය රඟපෑවාය. ඉන්පසුව 'චණ්ඩාලි' මුද්‍රා නාට්‍යයේ ප්‍රකෘතියගේ චරිතය රඟපාමින් ඇය මුද්‍රා නාට්‍ය චරිතාංග නර්තනයට අත්පොත් තැබුවාය. පසුව ඇය කරදිය මුද්‍රා නාට්‍යයෙහි 'සිසී' ලෙස ද , නල දමයන්ති මුද්‍රා නාට්‍යයෙහි 'හංසයා' ලෙසද ඇගේ ප්‍රතිභාව පෙන්නුම් කරන ලදී .
එසේම ලංකාවේ පළමු ළමා මුද්‍රා නාට්‍ය වන 'කුමුදුනි' මුද්‍රා නාට්‍ය නිර්මාණය කරමින් ඇය තම මුද්‍රා නාට්‍ය නිර්මාණ චාරිකාව ආරම්භ කරන ලදී. ඉන්පසුව වනජා, රන් කිකිළි, නිල් යකා, නිරාශා, අණ බෙරය, හපනා ආදී ළමා මුද්‍රා නාට්‍ය ද ගිනි හොරා,චණ්ඩාලිකා, රෂෝමොන්, බෙරහඬ,ශිව රංග ආදී කලාත්මක මුද්‍රා නාට්‍ය ගණනාවක්ද ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත දායාද කරන ලදී.
ලීකෙළි, සවරන්, රබන්, තාලම් ආදී ජන නැටුම් නූතන වේදිකාව සඳහා ප්‍රතිනිර්මාණය කරමින් නව රංග විලාසයන් හඳුන්වාදීමට ද වජිරා චිත්‍රසේනයන් පෙරමුණ ගෙන ක්‍රියා කරන ලදී. තවද සාම්ප්‍රදායිකව පිරිමින් පමණක් ඉදිරිපත් කළ උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රගුණ කර වෙස් බඳින ලද පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන්නේ ද ඇයයි. උඩරට නර්තනයට පමණක් නොව බටහිර බැලේ නර්තනයටද එකසේ දක්ෂතා දැක්වූ ඇය එහි කූඨප්‍රාප්තියට ළඟා වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාව ලෙසද හැඳින්වේ.
තමාගෙන් පසු වෘත්තීය මට්ටමටමේ ශිෂ්‍ය පරම්පරාවක් බිහි කිරීමට එතුමිය වෙහෙස මහන්සි වී ක්‍රියා කළාය. වේදිකාව මත කාන්තාවන්ට ස්ථානයක් හා අනන්‍යතාවයක් අත්කර දීමටත් වර්තමාන නර්තනවේදීන්ට කුසලතා පෙන්වීමේ මඟක් සකස් කිරීමේ මූලික අඩිතාලම දැමීමටත් පෙරගමන්කරු වූ හෙළයේ මහා නෘත්‍යාංගනාවිය දිවිමඬලින් සමුගත්ත ද ඇය කළ සේවය ලාංකීය නර්තන ක්ෂේත්‍රය තුළ නොමැකෙන සේ රැඳී තිබෙනු ඇත.
සචිනි ගමගේ.