නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
එහි දී අගරදගුරු හිමිපාණන් බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරන්නේ.
මෙහි දී කාදිනල් හිමිපාණන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක්කර තිබුණා.
එම හමුවෙන් අනතුරුව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය වෙත කියා සිටියේ,
"ශ්‍රී ලංකාවේ වැඩිම ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතාට මම සුබ පතනවා. ඒ වගේම මම කල්පනා කරනවා ලංකාව තුළ අවශ්‍යම වෙනසක් ඇති කිරීමේ බාරදුර කටයුත්ත ලංකාවේ ජනතාව එතුමාගේ කර උඩට දැන් පවරා තියෙනවා. මෙය දුෂ්කර කටයුත්තක් වෙන්න පුළුවන්. නමුත් අපේ සම්පූර්ණ සහයෝගය හා ආශිර්වාදය ලබාදෙන බවට ප්‍රතිඥා දෙනවා. ඒ වගේම දුප්පත් ජනතාව ගැන නිතර සිතමින් ඔබතුමාගේ කාර්ය ඉදිරියට කරගෙන යන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා."
එමෙන් ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුවේ කොළඹ දවටගහපල්ලිය වෙත ගොස් මුස්ලිම් ආගමික වතාවත් සඳහා එක්ව ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සඳහන් කළා.