අප හමුවූ හැම මොහොතකම
මා සිසාරා හමා ගිය,
ඒ සුවඳ ඔබේම ද ?
පිටින් ගෑ සුවඳක් ද ?
කුමක් වුව ඒ සුවඳ
තවමත් දැනෙයි ඉඳහිට
පොත්ගුලක
මංසලක
පැන්හලක්
ළඟ ළඟ...
එවිට හිස හරවා බලන්නෙ
ඔබ දකින්නට නොව
සොයන්නට මා සිත පෙලූ
ඒ විසල් ගැටලුවට පිළිතුරු
ඒ සුවඳ ඔබේම ද ?
පිටින් ගෑ සුවඳක් ද ?
මිනිස්සුන්ගේ හීන කියන්නේ ඇත්තටම සැබෑවක්. අද අපේ කතාබහ සිහින ජයගන්නට වෙර දරන කලා ලොවේ නවක කවි තරුවක් ගැනයි. ඔහු නමින් සමන්ත දිසානායක.
ආයුබෝවන් !
ආයුබෝවන් !
1)සමන්ත ඇත්තටම ඔබ කවුද ?
මම සමන්ත දසනායක. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිව්වන වසර ශිෂ්‍යයෙක් විදිහට අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යනවා. ඒ අතර සාහිත්‍ය සහ වෙනත් කලා කටයුතුවලත් නියැලෙමින් සිටිනවා.
2) බැරිම තැන ලියූ කවි මොකක්ද මේ කතාව
මේ කතාව කවි පොතක් ගැන. මගේ පලවෙනි කාව්‍ය සංග්‍රහය. කාලයක් තිස්සේ එකතු කරගත්ත කවි ටිකක් පොතක් විදිහට පල කරන්න පුළුවන්කමක් ලැබුණා.
3) මේ හීනයට එන්න පදනම වටෙන්නේ කොහොමද ?
ඇත්තටම කවි පොතක් කරන එක මම දීර්ඝ කාලයක් තිස්සේ දැකපු හීනයක්. විශේෂයෙන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙන්න ඉස්සර වෙලා පොතක් කරන්න විශාල බලාපොරොත්තුවක් තිබුණා.
දීර්ඝ කාලයක් තිස්සේ ලිවීමේ කටයුතුවල යෙදී සිටියත් විවිධ හේතු නිසා කවි එකතුව කවි පොතක් බවට පත් කරගැනීම හුගාක් ප්‍රමාද වුණා. කෙසේ වෙතත් අවසාන වශයෙන් ඒ හීනය යථාර්ථයක් බවට පත්කරගන්න පුළුවන් වුණා.
4) නිර්මාණකරණයට පිවිසෙන්න විශ්වවිද්‍යාලය ජීවිතේ ලැබුණු අවස්ථා කොහොමද ?
විශ්වවිද්‍යාල ජීවිතය ඇතුලෙ නම් කලාව හා සාහිත්‍ය පැත්තට යොමු වෙන්න ලැබුණු අවස්ථා ඉතාම විරලයි කියල කියන්න පුළුවන්. මම ඉගනගන්න විෂය ධාරවන් කලාව හා සාහිත්‍ය පැත්තට තරමක් දුරස්ථ වීම ඒකට හේතු වෙන්න ඇති කියල මං හිතනවා. නමුත් විශ්වවිද්‍යාල ප්‍රවේශය පුද්ගලික වශයෙන් අලුත් සමාජ වපසරියකට විවෘත වීමක් ලෙස මගේ අත්දැකීම් ගබඩාව පෝෂණය කිරීම සඳහා ඉතාමත් වැදගත් කාර්ය භාරයක් ඉටු කලා. ඊට අමතරව කොළඹ නගරය ආශ්‍රිතව ගොනු වෙලා සිටින සාහිත්‍ය සමාජයේ සහෘදයින් දැන හැදින ගැනීම ඇතුළත්ව විශ්වවිද්‍යාල භූමියෙන් බැහැරව විශාල කලා සාහිත්‍ය ඇසුරක් විශ්වවිද්‍යාලයට තේරී පත්වීම කරණ කොට ගෙන උකහාගන්න ලැබීම මට ලැබුණු හොඳ අවස්ථාවක් කියල හිතනවා.
5) මේ කවි පොත පිළිබඳව කතා කලොත්
මේ කවි පොත සම්බන්ධයෙන් ඇත්තටම මම කතා කරනවට වඩා මම කැමතියි තවත් කවුරුහරි කතා කරනව අහගෙන ඉන්න. කතෘ ප්‍රකාශනයක් විදිහට නිකුත් වන කවි 36 ක කුඩා පොතක් මේක. ඉතාම ඉක්මනින් කියවලා අවසන් කරන්න පුළුවන් බොහොම කුඩා කවිවලින් සමන්විත පොතක් මේක. ඒත් ඒ කවිය විසින් ඉල්ලා සිටින කාලය ඊට ලබා දෙමින් ටිකක් විවේකීව මේ කවි අහුර ලිහලා බලන්න කියලා මම මගේ පාඨකයන්ට බොහොම ආදරයෙන් මතක් කරනවා.
6) වර්තමානයේ කලාවට කවියට පවතින තත්වය පිළිබඳ ඔබේ අදහස මොන වගේ ද ?
ඇත්තටම වර්තමානයේ, අතීතයේ හෝ අනාගතයේ දී කලාවට සහ කවියට විශේෂ තැනක් ලැබිය යුතුයි කියල මම කල්පනා කරන්නේ නෑ. එයට නියමිත ස්ථානය දිනාගන්න කලාව, කවිය සමත් විය යුතුයි. සාමාන්‍ය පාඨකයා ආමන්ත්‍රණය කරන්න ඔවුන්ගේ සිතුම් පැතුම්වලට සමීප වෙන්න අසමත් වෙනව නම් ඒ කවිය, කලාව කොහොමටත් සමාජයෙන් අතහැරිලා යනවා. අවශ්‍ය වෙන්නේ වඩාත් සාර්ථක නිර්මාණ සිදුකරන එක මිසෙක, අපි විසින් කරන කුමන හෝ ආකාරයක නිර්මාණ බලහත්කාරයෙන් සමජයට බැඳ තැබීමට උත්සාහ කිරීම නෙවෙයි. එයින් කියවෙන්නේ නෑ ඉල්ලුමට සැපයුම දෙන්නා වගේ කලාව සාහිත්‍ය පාරිභෝගික භාණ්ඩයක් කරගන්න ඕන කියන එක. නිර්මාණ පාරිභෝගිකකරණය කියන්නේත් අප අවධානය දිය යුතු වැදගත් පැත්තක් තමයි. කෙසේ වෙතත් අවසාන වශයෙන් වැදගත් වෙන්නේ නිර්මාණයේ ගුණාත්මකබව තුළින්ම සමාජය තුළ රදාපැවතීම කියලයි මම විශ්වාස කරන්නේ.
7) මෙතෙක් ආ ගමනට උදව් වුණු අය මතක් කලොත්
මෙතෙක් ආ ගමනට උදව් කළ උදවිය නම් මෙතෙකැයි කියන්න බැරි තරම්. විශේෂයෙන්ම මගේ අම්මා සහ තාත්තා මතක් කරන්න ඕනි. කවි ලෝකය ගැන මුලින්ම මට ඉව වැටෙන්නේ අපේ තාත්තාගෙ මැදිහත් වීමත් එක්ක. ඒ දෙන්නා හැරුණාම මගේ අයියා සහ අයියගේ බිරිඳ මේ ගමනට මට විශේෂ සහයෝගයක් ලබාදුන්නා. තවදුරටත් මගේ ගුරුවරුන්, විශ්වවිද්‍යාලයේ මිතුරන් සහ සාහිත්‍ය සමාජයේ සහෘද රසවතුන් විශාල පිරිසක් ඉන්නවා.
තවදුරටත් විශේෂ ස්තුතියක් ලබාදිය යුතුයි මා වෙත කවි නිමිති තෑගි කළ උදවියට. ඇතැම් සතුටුදායක මතකයන් මෙන්ම හදවත නතර කරවනසුළු වේදනාත්මක මතකයන් බොහොමයක් මේ කවිවල පැටලිලා තියෙනව. ඉතිං මම හිතනවා ඔවුන්ටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි කියල.
8) අවසාන වශයෙන් ඔබට නවක නිර්මාණකරුවන්ට කියන්න තියෙන්නේ මොනවද ?
ඇත්තටම මමත් නවක නිර්මාණකරුවෙක්. කරන නිර්මාණයේ ගුණාත්මකභාවය කෙසේ වුවත් කුමන හෝ අන්දමකින් නිර්මාණයක් සිදු කිරීම කියන්නේ අපි අගය කල යුතු දෙයක් කියලයි මම විශ්වාස කරන්නෙ. තමන්ගේ නිර්මාණය වඩාත් ගුණාත්මක එකක් බවට පත් කරගන්න වැඩේ ඇත්තටම අයිති තමන්ට. කවුරු කොහොම කිව්වත් තමන්ගේ නිර්මාණයක වටිනාකම දන්නෙ තමන් නිසා ඒ වටිනාකම් තව තවත් අය සමඟ සංසන්දනය කරමින් හිත් පාරගන්න අවශ්‍ය නොවන බවත් මං මගේ පරම්පරාවට කියන්න කැමති. ඔබ සාහිත්‍ය ලෝකයේ ඉතාමත් නවමු මානයන් විවෘත කරගනිමින් ඉදිරයට යන බවක් මට පෙනෙනවා. ඉතිං අපට අනාගතයේ ලංකාවෙ සාහිත්‍ය ක්ශේත්‍රය ගැන ප්‍රභාශ්වර බලාපොරොත්තු සහිතව ඉන්න පුළුවන්.
අකල් වට අසේනිය මහී ලිය තෙමාවී
එතැන් සිට තුෂාරය ගිම් තැවුල් නිවාවී
කළල් පිට සෙනේහය සෙමෙන් මුල් අදීවී
ඉතින් හෙට පමාවී, නමුත් මල් පිපේවී
(බැරිම තැන ලියූ කවි)
සසිකලා කල්හාරි