/
/
title icon ගුරු නමට වැකියක්.
ගුරු නමට වැකියක්.
Thisara Rajapaksha
2 weeks ago
Share:
ගුරු නමට වැකියක්.

        මෙලොව උපත ලද මිනිසා මව්න්ගේ කිරෙන් පෝෂණය වේ.පළමු වසර පහ තුළ සමීපත ම සමාජීය ස්ථානය ගෙදර වේ.ඉන් පසු පිවිසෙන තමාට සමීපත ම සමාජීය ස්ථානය අතීතයේ හැඳින්වූ "පාඨශාලාව" නොහොත් පාඨයන් කියවූ තැන, වර්තමානයේනම් "පාසල"කිවහොත් මා නිවැරදි ය.එතැන් පටන්  මව් කිරෙන් පෝෂණය වූ මිනිසා සිප් කිරෙන් පෝෂණය වේ.ඒ කෙසේද යත් ලොව ඉහළ ම වෘත්තියේ නියැලෙන "ඇදුරුතුමා/ගුරුවරයා" මුණගැසීමත් සමඟ ය. වසර පහක් පුරා සරනු ලැබූ මාවත් හැර අතුරු මං මාවත් දිගේ ඇවිද ගොස් අතරමං වන්නේ ද එම මිනිසාම ය.අතරමං වී මං සොයන්නාට පාර කියා දෙන තාරකාව "ගුරු තරුව" ලෙස නම් දැරී ය.

        දිසාපාමොක් පෙළපතෙන් පැවත එන ගුරු වෘත්තිය එදා සිට අද දක්වා "ගුරු දෙවියන්" ලෙස ගෞරව බහුමානයට පාත්‍ර වන බව නිසැක ය.තමා සතු දැනුම දරුවන්ට ලබා දී දරුවන්ගේ මනස,චර්‍යාව සමඟ ආත්මය ම පෝෂණය කරමින්, තමාට වඩා ඉහළින් ඔවුන් වැජඹේවා! යි අව්‍යාජ හැඟීමෙන් තම වෘත්තිය ඉටු කරනු ලබන ගුරුවරුන් හැඳින්වීමට "දෙවිවරුන්" හැර වෙනත් නාමයක් මෙලොව ඇතැයි මම නොසිතමි.යම් අයෙකු වේද ඔහු හෝ ඇය වර්තමානයේ කෙතරම් දියුණුවක් ලබා ඇති ද,කුමන තනතුරක් දරනු ඇති ද,ඒ සියල්ල පිටුපස එයට පාර කියා දුන් ගුරුවරුන් සිටියි.මෙය කියවන ඔබත් මමත් මේ අවස්ථාව වන විට තම ජීවිකාවේ මංපෙත් පාදා දොරගුළු විවර කර දුන් ගුරුවරුන් සිහියට නඟා ගන්නවා නොඅනුමාන ය.

        ඔබට-මට පාර කියූ ගුරු මව්පියවරුන් සිහිපත් කිරීම, සැමරීම අප සතු වගකීමක්ම ය.වර්ෂ 1966 ඔක්තෝම්බර් මස 05 වන දින යුනෙස්කෝ ආයතනය හා ලෝක කම්කරු සංවිධානය එක්ව ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කරන ලදී. වර්ෂ 1993 දී ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තිය සමිති නායකයකු වූ එම්. ජී. මෙන්ඩිස් මහතා විසින් අන්තර්ජාතික ගුරු දිනයක් ප්‍රකාශයට පත් කරන්නැයි ලෝක ගුරු සංසදයෙන් ඉල්ලීමක් කොට ඇත.එම ඉල්ලීම සලකා බලමින් ලොවටම පොදු ගුරු දිනයක් සැමරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇත. 

        ඒ අනුව ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කළ 1966 ඔක්තෝම්බර් 05 වන දින සිහිපත් කරමින් ලෝක ගුරු දිනය ඔක්තෝම්බර් 05 වන දිනට නම් කොට ඇත. ඒ අනුව ප්‍රථම වරට ලෝක ගුරු දිනයක් සමරනු ලැබූයේ 1994 වර්ෂයේ ය. එතැන් පටන් ලෝක ගුරු දිනය  ඔක්තෝම්බර් 05 වන දින සමරන්නට පටන්ගෙන ඇති අතර ශ්‍රි ලංකාව තුළ එය  ඔක්තෝම්බර්  06 වන දින සමරනු ලබයි.වර්තමානයේ එම ගුරු දිනය නිමිති කර ගනිමින් සාද,නාට්‍ය,උත්සව,තෑගි ලබාදීම්,සමරු පලක ලබාදීම් ආදී විවිධ දේ පාසල් තුළ සිදු කරනු ලබයි.එය පාසල තුළ දී  අපි සැවොම අත් විඳ ඇත්තෙමු.

        අද ඔබ මෙම ලිපිය කියවනු ලබන්නේ ඔබේ ගුරු තරුව කියා දුන් මඟ නිවැරැදිව හමාර කළ වකවානුවකනම්, ඈත අහසේ ඒ තරුව ඔබට පාර කියා මහන්සියෙන්,තනිව ගිමන් හරිනු ඇත.කළගුණ ලෙස ඔබ තබන ඇමතුමකින් ඒ තරුව තව තවත් දිදුලනු ඇත.ඒ දිදුලන රැස් ආශිර්වාද වී ඔබේ දිවිය එළිය කරනු ඇත.හැකි සෑම විට ම ගුරුවරුන්  අගයන්න.

තිසාරා රාජපක්ෂ.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required