පවුල් තුළ දෙමාපියන්ගේ හැසිරීම දරුවන්ගේ පෞරුෂය හැඩ ගැසීමේදී විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. පවුල යනු දරුවකු අත්විඳින පළමු සමාජ පරිසරයයි. දෙමාපියන්ගේ දැනුවත් හෝ අවිඥානික හැසිරීම් දරුවෙකුගේ අනාගතයට ධනාත්මක හෝ සෘණාත්මක බලපෑමක් ඇති කිරීමට සමත්වෙයි.
මව් කුසකින් මෙලොව එළිය දකින දරුවා කායිකව මෙන්ම මානසිකව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නේ ඔහු අවට ඇති පරිසරය නිරීක්ෂණය කිරීමෙනි. දෙමාපියන් පවුල තුළ කරුණාව, සහයෝගය සහ ආදර්ශමත් හැසිරීම් පෙන්නුම් කරන විට කුඩා කාලයේ පටන්ම නිරායාසයෙන්ම දරුවන්ගේ පෞරුෂය සංවර්ධනයට අත්වැලක් වේ. එය දරුවන්ගේ චිත්තවේගය, බුද්ධිය මෙන්ම සෞඛ්‍ය සම්පන්න වූ මානසික තත්ත්වයන් ගොඩනඟා ගැනීමට අවකාශය සලසයි.
පවුලක් තුළ දෙමාපියන්ගේ ආවේගකාරී හැසිරීම්, ආක්‍රමණශීලීත්වය, එකිනෙකාට ගෞරව නොකිරීමේ හැසිරීම් පෙන්නුම් කරන විට එය දරුවන්ගේ අනාගත පෞරුෂ තත්ත්වයට ඉතාමත් හානිදායක ලෙස ගැටලු ඇති කළ හැකිය.දෙමාපියන්ගේ අසාර්ථක අන්තර් සම්බන්ධතා මතින් වයසින් මුහුකුරා යන දරුවන්ගේ ජීවිතයේ පසුකාලීන සබඳතා පවා අසාර්ථක වීමටද එය හේතුවක් විය හැකිය. මෙය එක් දිනයකින් හෝ දින කිහිපයකින් ඇතිවන තත්වයක් නොවන අතර දිගුකාලීනව පවුල් පරිසරය තුල ඇති අසාර්ථක වීම් තුලින් ගොඩනැගෙන තත්වයකි.
එසේම පවුලක දෙමාපියන් තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය අංගයක් ලෙස විවෘත සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. මුලින්ම දෙමව්පියන් දරුවන් සමඟ සන්නිවේදනය කිරීමට පෙර ඔවුනොවුන් අතර විවෘත සන්නිවේදනයක් ගොඩනගාගත යුතුය . පසුකාලීනව දරුවන් පවුලට එක් වූ විට දෙමව්පියන් විසින් පවුල තුළ ඇති ගැටලු සහ අනෙකුත් සියලුම තත්ත්වයන් සන්නිවේදනය කිරීමේදී විවෘතව කටයුතු කරනු දකින දරුවන් ඔවුන්ගේ පවුල් ජීවිත වලට පිවිසෙන කාලවකවානුව වන විට දෙමාපියන් තුළ තිබූ එම ගුණාංගය අවශෝෂණය කර ගැනීමට කටයුතු කරයි.
දෙමව්පියන් විසින් ලබා දෙන චිත්තවේග සුරක්ෂිතතාවය සහ විනයේ සිට විවෘත සන්නිවේදනය, ආදර්ශය ආදී සියලුම හැසිරීම් සහ ගුණාංග දරුවෙකුට කුඩා කාලයේ සිට ඔවුන්ගේ අනාගත සම්බන්ධතා ගොඩනගා ගැනීමට සහ ඒවායේ ධනාත්මක හෝ සෘණාත්මක වීමට හේතු වේ. ඔබ අප කිසිදු පුද්ගලයෙකු සර්ව සම්පූර්ණ මිනිසුන් නොවන නමුත් ඔබ තවත් අයෙකු සමග ඇතිවුන සම්බන්ධතාවයකින් ගොඩනැගෙන කුටුම්භය තුළ හැසිරෙන ආකාරය දරුවන්ගේ පෞරුෂ මට්ටම තීරණය කරන අතරම බාහිර සමාජයට දරුවන්ව නිරීක්ෂණය කිරීම තුලින් දෙමවුපියන්ගේ අන්තර්ක්‍රියා සහ අන්තර් සම්බන්ධතා පිලිබද වක්‍රාකාරයෙන් නිරූපනය වේ.
මංජුලා දිසානායක.