ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සමග පැවති හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළ බවයි.
එමෙන්ම, ජනවාර්ගික ප්‍රශ්නය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ ජයිශංකර් මහතා ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය පවත්වා ගනිමින් සමානාත්මතාවය, යුක්තිය, ගෞරවය, සාමය සඳහා දෙමළ ජනතාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ අභිලාෂයන් සඳහා ඉන්දියාවේ සහාය අවධාරණය කර තිබෙනවා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීම මෙම අරමුණු සඳහා පහසුකම් සපයනු ඇති බවයි.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ඊයේ පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියා.