/
/
title icon කෘතිම බුද්ධිය නිසා ඉදිරියේදී ඔයාගෙ ජොබ් එකත් නැති වෙයිද?
කෘතිම බුද්ධිය නිසා ඉදිරියේදී ඔයාගෙ ජොබ් එකත් නැති වෙයිද?
Manjula Disanayaka
2 weeks ago
Share:
කෘතිම බුද්ධිය නිසා ඉදිරියේදී ඔයාගෙ ජොබ් එකත් නැති වෙයිද?

වර්තමානය වන විට ලෝකය ඉතා වේගයෙන් තාක්ෂණය සමග ඉදිරියට ගමන් කරන බවක් පෙනේ.මිනිසුන් විවිධ කාලවකවානුවලදී විවිධාකාරයේ තාක්ෂණයන් හඳුන්වා දෙනු ලබයි.ඒ අනුව ලෝකයේ සිටින ජීවීන් අතරින් බුද්ධිමත්ම ජීවියා මිනිසා ලෙස හැඳින්වීමට වෙනත් හේතු සාධක අවශ්‍ය නොවේ.ආසන්නම කාලයේදී ලෝකයට හඳුන්වා දෙනු ලැබූ තාක්ෂණය ලෙස " කෘතිම බුද්ධිය"   දැක්විය හැකිය.වේගයෙන් දියුණුවෙමින් පවතින ලෝකය මෙම කෘතිම බුද්ධිය ඉතාමත් ඉක්මනින් වැළඳ ගත්හ.

කෘතිම බුද්ධිය  ලෙසින් හඳුන්වනු ලබන්නේ "පරිගණක පද්ධති මගින් මානව බුද්ධි  ක්‍රියාවලීන් අනුකරණය කිරීම'' යි.මෙහිදී පරිගණක පද්ධති සඳහා විශාල දත්ත ප්‍රමාණයක් ඇතුළත් කරමින් මෙම තාක්ෂණය ගොඩනගනු ලබයි.ව්‍යාපාරික ලෝකය තුළ 1950 දශකය තුළදී කෘතිම බුද්ධියෙහි ගමන ආරම්භ වූ අතර වර්තමානය වන විට එහි විශාල දියුණුවක් ලබාගෙන ඇත. 

වර්තමාන ලෝකයේ සිටින මිනිසුන්ට ඇති ප්‍රධානතම අවශ්‍යතාවයක් වන්නේ සීමිත කාලයකින් උපරිම වැඩ ප්‍රමාණයක් කාර්යක්ෂම සහ නිවැරදිව, අඩු පිරිවැයකින් ලබා ගැනීමයි .කෘතිම බුද්ධිය  බොහෝ විට මෙම අවශ්‍යතාවය සඳහා විසඳුම් සපයනු ලබයි.මේ හේතුව නිසාම ලෝකයේ ඇති බොහෝ ආයතන මෙම කෘතිම බුද්ධිය  සමඟින් එන තාක්ෂණය වෙතට අවධානය යොමු කෙරිණි.

ලෝකයේ ශ්‍රම වෙළඳපොළ ඉතාමත් වේගයෙන් වෙනස්වීමකට ලක්වන බවත් වර්තමානය වන විට ඇති රැකියා ප්‍රමාණය සහ රැකියාවල ස්වරූපයේ වේගයෙන් වෙනස් වන බවත් ලෝක ආර්ථික සංසදය පෙන්වා දී ඇත.ඔවුන් මේ සඳහා ප්‍රධාන හේතු සාධකය ලෙස පෙන්වා දී ඇත්තේ නව තාක්ෂණ සහ කෘතිම බුද්ධියයි.එසේම ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරනු ලබන්නේ ඉදිරි වසර පහක කාලය තුළදී මේ වන විට ලෝකයේ ඇති සියළුම රැකියාවලින් හතරෙන් එකක් පමණ වෙනස් වීමකට ලක්වන බවයි.

කෘතිම බුද්ධිය තුළින් ලෝකයේ තිබූ සාමාන්‍ය රැකියා විශාල ප්‍රමාණයකට පහරක් එල්ල වූ අතර සම්ප්‍රදායික රැකියා රැසක් ක්‍රම ක්‍රමයෙන් තුරන් වී යාම සඳහා මෙය විශාල වශයෙන් බලපා ඇත.මේ සඳහා හේතුව වී ඇත්තේ කෘතිම බුද්ධිය තුළින් රැකියාවකදී මිනිස් ශ්‍රමිකයා අතින් සිදුවිය හැකි වැරදීම් ප්‍රමාණය සීමිත කරමින්, කාර්යක්ෂමව, ඉහල නිරවද්‍යතාවයකින් ලබාදෙන කාර්යය ඉටුකිරීමයි.

ලෝකයේ රැකියා වෙළඳපොළ තුළ ඇති පිළිගැනීමේ නිලධාරීන්, පාරිභෝගික සේවා නියෝජිතයන්, ගණකාධිකාරිවරුන්  විකුණුම්කරුවන්, පර්යේෂණ සහ විශ්ලේෂණ කාර්යයන් හා සම්බන්ධ වන රැකියා බොහෝමයක් කෘතීම බුද්ධිය තුළින් ස්වයංක්‍රීය වීමට ඉඩ ඇත. නමුත් ගුරුවරුන් , නීතිඥයන් සහ විනිසුරුවරුන්, අධ්‍යක්ෂවරුන් සහ කළමනාකරුවන්, මානව සම්පත් කළමනාකරුවන්, මනෝවිද්‍යාඥයන්, මනෝචිකිත්සකයන්, ශල්‍ය වෛද්‍යවරුන් කලාකරුවන් සහ ලේඛකයන්ගේ වෘත්තීන් සඳහා කෘතිම බුද්ධියට එල්ල කළ හැකි බලපෑම සීමාසහිත  වන්නේ මෙම රැකියා ගොඩනැගී ඇති ස්වරූපයයි. මෙම රැකියා පුද්ගලයාගේ දැනුම පමණක් නොව අත්දැකීම්, කුසලතා, තමාගේ සේවාවක් ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයාව තේරුම් ගැනීමේ හැකියාව, ස්ථානෝචිතව ගනුදෙනු කිරීමේ හැකියාව ආදී සියල්ල මත පදනම් වී ඇත.

නූතන  ලෝකය  කොතරම් දියුණු වුවද මානවයාගෙන් රැකියාවකදී ලබාගන්නා කායික සහ මානසික සේවාව 100% තාක්ෂණය වෙතට අත්පත් කර ගැනීම සඳහා හැකියාවක් නොමැති බව පෙන්වා දිය හැකිය. ඒ අනුව ලෝකයේ තාක්ෂණය කොතරම් දියුණුවද ඔබගේ වෘත්තිය සමඟ බැඳී ඇති කුසලතා සහ දක්ෂතා තවදුරටත් දියුණු කරගත යුතුය.  ඔබගේ රැකියාව සුරක්ෂිත කර ගැනීම ඔබගේ වගකීමක් වේ.

මංජුලා දිසානායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required