/
/
title icon විසල් සයුරේ හිතවතා.
විසල් සයුරේ හිතවතා.
Thisara Rajapaksha
1 week ago
Share:
විසල් සයුරේ හිතවතා.

ශ්‍රී ලංකාවේ විසල් සයුරත්,ගොඩ බිමත් විචිත්‍රවත් කරනු ලබන්නේ සතුන්ගෙන් සහ ඔවුන්ගේ සමාජ හැසිරීම් රටාවන්ගෙන් ය. මිනිස් සත්ව කොට්ඨාසය තම අවශ්‍යතා සහ වුවමනා ඔවුනොවුන් විසින් සපුරා ගන්නා අතර සත්ව ලෝකයේ ද එය ඔවුන්ට අවශ්‍ය පරිදි උපයුක්ත කර ගනියි.

ඒ අතර ලොව දීර්ඝත ම ආයුෂ ඇති සත්ව කොට්ඨාසය වනනේ කැස්බෑවන්( Turtle ) ය.මොවුන් කරදියට අයත් උරඟ විශේෂයක් වන අතර දිවා කාලයේ සක්‍රීයව ක්‍රියා කරයි.නවාතැන් ලෙස මුහුදු පතුලේ කොරල් පර, ගල් පර , ගිළුනු නැව් ආදිය තෝරා ගනියි.මොවුන් වසරේ එක් මධ්‍යම රාත්‍රියක, සඳ පායා ඇති මොහොතක බිජු ලෑම සඳහා වෙරළට පැමිණෙයි.මොවුන් අවුරුදු දස ලක්ෂ හැට පහත්, දස ලක්ෂ එකසිය හතලිහත් අතර කාලයක සිට පැවත එන ජීවී කොට්ඨාසයක් බව සඳහන් වේ.ලොව පුරා දාර කැස්බෑවන්,පොතු කැස්බෑවන්, ඔලුගෙඩි කැස්බෑවන්,බටු කැස්බෑවන්,ගල් කැස්බෑවන්,කේම්බ් රිඩ්ලි කැස්බෑවන්,පැතලි කැස්බෑවන්  ලෙස කැස්බෑවන් වර්ග 7ක් දැක ගත හැකිය.ඒ අතර කේම්බ් රිඩ්ලි කැස්බෑවා සහ පැතලි කැස්බෑවා ශ්‍රී ලංකාවේ දක්නට නොලැබේ.

කැස්බෑවකුගේ ආයු කාලය අවුරුදු 300-400 වන අතර ගැහැණු සතෙකු අවස්ථා අටක දී බිත්තර දමයි.නමුත් ඔවුන් ඒ සඳහා ආලින්දයේ යෙදෙන්නේ අඩු අවස්ථා ප්‍රමාණයකි.මන්ද යත් ගැහැණු කැස්බෑවන්ගේ සුවිශේෂී හැකියාවක් වන්නේ පිරිමි බීජ ගබඩා කර ගනිමින් අවශ්‍ය වේලාවට ඒවා බිජු බවට පරිවර්තනය කර ගැනීමයි.වරකට බිත්තර 85-150 දමයි. පැටව් බිහි වීම සඳහා මාස දෙකක පමණ කාලයක් ගත වේ.පැටව් බිහි වීමට පෙර බිත්තර;  වල් ඌරන්,මුගටියන්,තලගොයි ආදී විලෝපිකයනුත්; බිහි වූ පැටව්න් ලිහිනියන්,මෝරුන් ආදී විලෝපිකයනුත් ගොදුරු කර ගනනා අතර ඒ අතරින් ඉතිරි වන්නේ අතලොස්සකි.

වල්ගය දිගු කැස්බෑවන් පිරිමි සතුන් ලෙසත්,වල්ගය කොට කැස්බෑවන් ගැහැණු සතුන් ලෙසත් ප්‍රභේද කර ගත හැකිය.කැස්බෑ පැටවා කිසි දිනක තම මව් සතුන් නොදකින අතර පරිනත වූ පසු බිජු ලෑම සඳහා තමා උපන් වෙරළ තීරයට ම පැමිණෙයි.කුඩා ජලජ ජීවීන්,කුඩා මත්ස්‍යයන්,ජලජ ශාක ඔවුන්ගේ ආහාර වන අතර මුහුදු ආඳා වැනි බයානක විලෝපිකයන් ද ඔවුන් විසින් ආහාරයට ගනු ලබයි.කොරල් පර විනාශ වීමට හේතුවන ජලජ ශාක ආදිය ද මොවුන් ආහාරයට ගනියි.එම නිසා කොරල්පරයේ සුරක්ෂිතභාවය රඳා පවතින්නේ කැස්බෑවන් මත ය.පරිසර සමතුලිතතාවය සඳහා ද ඔවුන් ඉතා වැදගත් වේ.

රැකව,කොස්ගම ආදී ප්‍රදේශවල වැඩි වශයෙන් කැස්බෑවන් වාසය කරයි.රැකව අභය භූමියට අයත් වෙරළ තීරය කැස්බෑවන් සඳහා වන ජීවී දෙපාර්තමේන්තුව විසින් වෙන් කරන ලද භූමියකි.ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන කැස්බෑ වර්ග 5 ම දැකිය හැකි එකම වෙරළ තීරය මෙයයි.කෙසේ වෙතත් විලෝපිකයන් පමණක් ම නොව කැස්බෑවන් හට විශාල තර්ජනයක්ව ඇත්තේ මනුෂ්‍යයන් ය.එනම් ධීවරයින්ගේ දැල්වල පැටලීම නිසා මිය යෑම, මිනිසා මුහුදට එක් කරන අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා මිය යෑම, කැස්බෑ කටුවෙන් කරන විසිතුරු නිර්මාණ සඳහා දඩයම් කිරීම ආදිය ඔවුන්ට ඇති විශාල තර්ජනයන් ය.මේ නිසා වනජීවී දෙපාර්තමේන්තුව විසින් කැස්බෑවන් දඩයම් කිරීම, විකිණීම, සුරතලයට ඇති කිරීම, කැස්බෑ බිත්තර ළඟ තබා ගැනීම ආදිය තහනම් කර ඇත.

කැස්බෑවන් සංරක්ෂණය සඳහා කැස්බෑ බිත්තර ආරක්ෂිත ස්ථානයක දමා ඇත්නම් එම ස්ථානයේ ම සංරක්ෂණය කිරීමත්,අනාරක්ෂිත ස්ථානයක දමා ඇත්නම් ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් සංරක්ෂණය කිරීමත් මෙරට වනජීවී දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විශාලත ම වගකීමයි.රතු දත්ත ලැයිස්තුවේ සිටින මෙම කැස්බෑවන් පරිසර සමතුලිතතාවයේ ඉහළින් ම සිටියි.සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට විශාල දායකත්වයක් සපයන කැස්බෑවන් සංරක්ෂණය කිරීම වනජීවි දෙපාර්තමේන්තුව සතු වගකීමක් පමණක් ම නොව ශ්‍රී ලාංකිකයන් වන අපගේ ද පැහැර හැරිය නොහැකි වගකීමකි.

තිසාරා රාජපක්ෂ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required