/
/
title icon දිවි නැසෙන තැන්.
දිවි නැසෙන තැන්.
Thisara Rajapaksha
1 week ago
Share:
දිවි නැසෙන තැන්.

2024 ඔක්තෝම්බර් 07 වන දින ශ්‍රී ලංකාවේ ඉතා ඛේදජනක සිදු වීමක් සිදු විය.ඒ රාධ්‍යා ගුණසේකර නම් 15 හැවිරිදි දැරියක් කොළඹ නෙළුම් කුළුණේ 29 වන නැරඹුම් මැදිරියෙන් තෙවන මහලට පැන මිය යෑමයි.ජාත්‍යන්තර පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රාධ්‍යා,මීට පෙර 2024 ජූලි මාසයේ දී Altair මහල් නිවාස සංකීර්ණයෙන් පැන සියදිවි නසාගෙන මිය ගිය ඇගේ යහළුවන් දෙදෙනාගේ මරණයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බවට තොරතුරු පල වන අතර ඇය ඒ හා සමාන ආකාරයකින් තම ජීවිතය අවසන් කිරීමට තීරණය කර ඇති බව මේ වන විට මාධ්‍ය තුළ සාකච්ඡාවට බඳුන් වන පුවතකි.

මෙහි මීට මාස හතරකට පෙර විදේශිකයකු බේස් පැනීමේ ක්‍රීඩාවේ නිරත වෙමින් සිටිය දී පැරෂුටය ක්‍රියාත්මක වීමට ප්‍රමාද වීම හේතුවෙන් බරපතල තුවාල ලබා අනතුරකට මුහුණ දුන් පුවතක් වාර්තා වුවත් මෙම ස්ථානයේ මෙතරම් උසකින් වාර්තා වූ පළමු සියදිවි නසා ගැනීම රාධ්‍යාගේ සිදු වීමයි.මෙහි දී හිතා මතා ම තම මරණය සිදු කර ගැනීම නිසා මෙය සිය දිවි නසා ගැනීමක් ලෙස සැලකිය හැකිය.

බෝහෝ විට සියදිවි නසාගැනිම් සිදු වීමට බලපාන්නේ බලාපොරොත්තු සුන් වීම,සිත් වේදනාව,ජීවිතය තව දුරටත් දරාගත නොහැකි බවට විශ්වාස කිරීම,සමාජ හුදෙකලාව වැනි හැඟීම් ය.මානසික අවපීඩනය,කාංසාව හෝ කම්පනය වැනි මානසික සෞඛ්‍ය තත්වයන් මෙන්ම මූල්‍ය ආතතිය,සම්බන්ධතා ගැටළු,නිධන්ගත රෝග වැනි පීඩනයන් ඇතුළු විවිධ සාධක සියදිවි නසාගැනීම්වලට බලපෑම් කළ හැකි ය.ඒ අතර අධික මත්ද්‍රව්‍ය භාවිතය තුළින් ඇතිවන රෝගී තත්වයන්ගේ අතුරු ප්‍රතිඵල වශයෙන් ද පුද්ගලයන් සියදිවි නසාගැනීම දැකගත හැකිය.

මෙම අවස්ථාව ලෝකයේ සියදිවි නසාගැනීම් සමඟ සංසන්ධනය කළ විට තරුණයින්ගේ සියදිවි නසා ගැනීම් සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙස හඳුනාගත හැකිය.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව (WHO) ලොව වයස අවුරුදු 15-29  අතර තරුණ මරණ සඳහා හේතු විග්‍රහ කිරීමේ දී සියදිවි නසා ගැනීම් සිව්වන ස්ථානයේ දැකගත හැකිය.

2024 වසරේදී ගොඩනැගිලි වලින් පනිමින් සියදිවි නසාගත් පුවත් කිහිපයක් ලෝකය පුරා වාර්තා වී ඇත.එනම් 2024 ඔක්තෝම්බර් මාසයේ දී, 18 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සිංගප්පූරුවේ Helix House ගොඩනැගිල්ලේ සිට බිමට පනිමින් ජීවිතක්ෂයට පත් වීම,2024 සැප්තැම්බර් මාසයේ දී 23 හැවිරිදි තරුණියක් ඉන්දියාවේ හයිද්‍රාබාද් හි ගොඩනැගිල්ලකින් 5 වන මහලෙන් පනිමින් ජීවිතක්ෂයට පත් වීම,2024 ඔක්තෝබර් මාසයේ දී,මැලේසියාවේ කොලොම්පූර්හි පාසලක 8 වන මහලෙන් 1 වසරේ සිසුවියක් සමාජ මාධ්‍ය ඔස්සේ සමුගැනීමේ වීඩියෝවක් ප්‍රචාරය කර පැනීම ආදී ආන්දෝලනාත්මක සිදුවීම් ය.

මෙම සිදු වීම් වළක්වා ගැනීම සඳහා මානසික සෞඛ්‍ය සවිබලගැන්වීම් එනම් මානසික උපදේශන සහ හදිසි ප්‍රතිකාර ලබාදීම,උස ගොඩනැගිලි ආරක්ෂක වැටවල් සහ බාධක,දැල් ආදිය සවි කිරීම,සමාජ සහ පවුල් තුළ මානසික බිඳ වැටීම් හඳුනාගෙන එයට ආදර සහ අවධානය දැක්වීම,මාධ්‍ය වගකීම් ඉටු කිරීම එනම් ආත්මහෙළාදැකීම් ප්‍රවෘත්ති ප්‍රචාරය අවම කිරීම,අධ්‍යාපන වැඩසටහන් මඟින් තරුණ පිරිස් අතර මානසික සෞඛ්‍ය සහ ගැටුම් කළමනාකරණය ගැන දැනුවත් කිරීම,උපදේශන සේවා ක්‍රියාත්මක කිරීම ආදිය සිදු කළ හැකිය.

මේවා වැලැක්වීම සඳහා ලොව තුළ රජයන් විශේෂ දුරකථන සේවා ක්‍රියාත්මක කිරීම,මානසික උපදේශන සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,අනතුරු බහුලව සිදු වන ස්ථානවල කැමරා පද්ධති සහ දැල්, ආරක්ෂක වැටවල් ආදිය සවි කර ඒවාට පිවිසීම් සීමා කිරීම ආදී පියවර ගෙන ඇත.ශ්‍රී ලංකාව තුළ ද මානසික උපදේශන සඳහා හදිසි අංකයක්( 1926) ක්‍රියාත්මක කිරීම,මානසික සෞඛ්‍ය කේන්ද්‍ර හෙල්ප් ලයින් සේවාව ක්‍රියාත්මක කිරීම,මානසික සෞඛ්‍ය සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය සිදු කරනු ලබයි.කෙසේ වෙතත් මෙම සියළු සිය දිවි නසා ගැනීම් සඳහා මානසික සෞඛ්‍ය ඉතා ප්‍රභල ලෙස බලපා ඇති බැවින් එම සේවාවන් තව තවත් වැඩි දියුණු කරමින්,මෙම සියදිවි නසාගැනීම් අවම කර ගැනීම සිදු කළ යුතු ය.එමෙන් ම මානුෂීය හදවත් සහිත අනෙකාට ඇහුම්කන් දීමට පෙළඹෙන සමාජයක් තැනිය යුතුය. 

තිසාරා රාජපක්ෂ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required