බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා විසින් වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව කරුණු දක්වා තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වූ බවට වන වීඩියෝවක් පසුගිය 15 වැනි දින යූටියුබ් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා.
මේ පිළිබඳ කරුණු දක්වමින් බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ මෙය අසත්‍ය වීඩියෝවක් බවයි.
එමෙන් ම ජනාධිපතිවරයා විසින් මෑත කාලයේ වැලිකඩ බන්ධනාගාරය හෝ වෙනත් කිසිදු බන්ධනාගාරයක නිරීක්ෂණ සංචාරයක් සිදු කර නොමැති බවත් වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය සම්බන්යෙන් කිසිදු විමසීමක් ද කර නොමැති බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියා.
බන්ධනාගාර ක්‍රියාවලිය තුළ දෛනිකව රැඳවූවන් සඳහා ආහාර ලබාදීමේ දී සලාක ලබා ගැනීමේ සිට නේවාසිකයින්ට ආහාර ලබාදීම දක්වා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එය සිදු වන බවත්, එය ආයතන ප්‍රධානීයාගේ අධීක්ෂණයට ද ලක්වන බවත්, පිසින ලද ආහාර නේවාසිකයින්ට ලබා දීමට ප්‍රථම දෛනිකව බන්ධනාගාර අධිකාරීවරයා විසින් එම ආහාර ගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ආහාර ලබා දීම සිදු කරන බවත් ඔහු සඳහන් කළා.
කොමසාරිස්වරයා පැවසුවේ බන්ධනාගාර ආයතන තුළ යම් පටිගත කිරීමක් හෝ දර්ශන ලබාගන්නේ නම් ඒ සඳහා බන්ධනාගාර මූලස්ථානය මගින් විශේෂ අවසරයක් ලබාගත යුතු බවයි.
නමුත් මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන ලබා ගැනීමට කිසිදු මාධ්‍ය ආයතනයක් මගින් අවසර ලබා ගෙන නොමැති අතර ඒ සඳහා රූගත කිරීමක් ද සිදු ව නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම පුවත හා සම්බන්ද දර්ශන සියල්ල ම වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය හෝ වෙනත් කිසිදු බන්ධනාගාරයක් තුළ රූගත කළ දර්ශණයක් නොවන බව ද ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව එකී යූටියුබ් නාලිකාව මගින් සිදු කර ඇති අසත්‍ය කරුණු හේතුවෙන් ජනාධිපතිවරයා හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපහසුතාවට හා අපකීර්තියට ලක් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ වන විට පැමිණිළි ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.