
මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් 2011 වසරේ අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන එම නඩු විභාගයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට එරෙහිව අතුරුදන්වූවන්ගේ ඤාතීන් විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ඒ බව දැනුම් දුන්නා.
මෙම පෙත්සම ඊයේ ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි ලබාදිය නොහැකි බවයි.
එහෙත් යාපනය අධිකරණය හැර වෙනත් අධිකරණයක සාක්ෂි ලබාදීම සඳහා ඔහු කැමැත්තෙන් පසුවන බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කර සිටියේය. ඊට පෙත්සම්කාර පාර්ශ්වය විරෝධය පළ නොකළ බව වාර්තා වුනා.
ඒ අනුව වැඩිදුර කරුණු සලකාබැලීම සඳහා මෙම පෙත්සම ලබන මාර්තු 18 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.