/
/
title icon
ආරුගම්බේ සැලසුම්ගත ප්‍රහාරයට සැක පිට දෙදෙනෙක් අත්තඩංගුවට
ආරුගම්බේ සැලසුම්ගත ප්‍රහාරයට සැක පිට දෙදෙනෙක් අත්තඩංගුවට
Presila Sandaruwani
4 months ago
Share:
ආරුගම්බේ සැලසුම්ගත ප්‍රහාරයට සැක පිට දෙදෙනෙක් අත්තඩංගුවට

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනුයි.

අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත මෙන් ම සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීය ම සංචාරක කලාපයක්.
           
එසේ ම එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයක්.

එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර දිනයන් තුළ දී එල්ලවිය හැකි බව ද ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබුණා.

ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් බුද්ධි අංශට වාර්තා වී තිබුණා.

ඒ අනුව අදාළ පුද්ගලයන් දෙදෙනාගේ නම්ගම් ඇතුළු සියලු තොරතුරු ඉන්දීය බුද්ධි අංශ මඟින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබා දී තිබෙනවා.

එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මඟින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම තොරතුරු ලැබීමත් සමග මීට සති දෙකකට පමණ පෙර සිට ම වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබුවා.

එමෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේ දී ආරක්ෂාව තරකර එහි සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව ද ආරක්ෂක අංශ මඟින් තහවුරුකර ඇති අයුරු දක්නට ලැබුණා.

ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුකර ඇති පසුබිමක ඊශ්‍රායල් ජාතිකයන් සංචාරය කරමින් සිටින වැලිගම ඇතුළු දකුණු පළාතේ ද, ඇල්ල ප්‍රදේශයේ ද  ආරක්ෂාව තහවුරු කර ඇති බව ද පොලිස් මූලස්ථානය පවසනවා.


මේ අතර ආරුගම්බේ මෙන්ම බස්නාහිර වෙරළ කලාපවලින් හා ගාල්ල, හික්කඩුව සහ වැලිගම වැනි කලාපවලිනුත් වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක මූලස්ථානය මෙරට රැඳී සිටින ඊශ්‍රායල ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම වහාම කොළඹ වැනි පොලිස් ආරක්ෂාව තරකර ඇති කලාපයක් වෙත ගමන් කරන ලෙස හෝ වහාම රටින් පිටවෙන ලෙස ද ඊශ්‍රායල රජය නිවේදනය කර තිබෙනවා.

මේ අතර හීබෘෘ සංකේත සහ යුදෙව් ආගම ප්‍රචාරණය කරන කිසිදු කටයුත්තක නිරත නොවන ලෙසත්, අනාරක්ෂිත ස්ථානවල ඒකරාශීවීම් සිදු නොකරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required