විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් යූටියුබ් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
'Go With Ali,' නැමැති යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන යන විදේශිකයා, ආදිවාසීන් සිව්දෙනෙකු සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි මොනරෙකු දඩයම් කර පුළුස්සා අහාරයට ගන්නා ආකාරය ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ මෙලෙස පළ කර ඇති බව සඳහන්.
වනජීවි දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ සිද්ධියට සම්බන්ධ වූ ආදිවාසීන් සිව්දෙනා සහ එය සිදුකළ ස්ථානය සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළුවීම, ගිනිදැල්වීම, දුනු ඊතලවලින් විද ආරක්ෂිත පක්ෂියෙකු ඝාතනය කිරීම මෙන්ම එය සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීම යන චෝදනා අදාළ විදේශිකයා ඇතුළු පිරිසට එරෙහිව එල්ල වී තිබෙනවා.