ඕනෑම පුද්ගලයෙකුට එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ලෙස ජීවත් වීමට පමණක් නොව වෘත්තීය ජීවිතයේ ඉදිරි පැවැත්ම සඳහාද අවශ්‍ය වන ප්‍රධාන ගුණාංග දෙකක් ලෙස මෘදු කුසලතා සහ දෘඪ කුසලතා හඳුන්වා දිය හැකිය.දෘඪ කුසලතා ලෙස හඳුන්වනු ලබන්නේ පුද්ගලයෙකු පාසලෙන්, උසස් අධ්‍යාපන ආයතනවලින්, පාඨමාලාවලින්, වැඩමුළුවලින් ලබාගන්නා විධිමත් රටාවක අධ්‍යාපනික දක්ෂතාවයන්ය. මෙහිදී ගිණුම්කරණය ,ලේඛනය ,ගණිතය ,නීතිය ආදිය වූ විශේෂේත්රයන් පිළිබඳ දැනුම දෘඩ කුසලතා තුළින් පෙන්නුම් කරයි.
මෘදු කුසලතා ලෙස හඳුන්වන්නේ සංකල්පමය හා භාවමය අයුරින් ඇති දෙයක් බාහිරට විදහා දක්වන ස්වරූපයකි. මෙම මෘදු කුසලතා පාසලේදී හෝ ඉගෙනුම් මධ්‍යස්ථානයකදී ඉගෙන ගත නොහැකි ය.බොහෝ විට පුද්ගලයෙකු හට සමාජය තුළ එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන දීමට සිදුවන අභියෝග, අත්දැකීම් ,දුෂ්කරතා ආදිය තුලින් ලැබෙන දරා ගැනීම සහ ධනාත්මක චින්තනය, ඉහළ පෞරුෂය තුලින් මෘදු කුසලතා ගොඩනංවනු ලබයි.මෙම මෘදු කුසලතා අතරට
• අනුවර්තනය වීමේ හැකියාව.
• ධනාත්මක චින්තනය
• සන්නිවේදනය
• ගැටළු විසඳීමේ හැකියාව
• කාල කළමනාකරණය
• නිර්මාණශීලී චින්තනය හා නවෝත්පාදනය
• කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.
ආදිය දැක්විය හැකිය.
කුඩා කාලයේ පටන් ලැබූ අධ්‍යාපනය සහ දැනුම තුළින් පුද්ගලයෙකුට රැකියාවක් ලබා ගැනීම සඳහා හැකියාවක් ලැබුණද එම රැකියාවෙහි රැඳී සිටීමට සහ සාර්ථකව වෘත්තීය ජීවිතය කරගෙන යාම සඳහා මෘදු කුසලතා ගොඩනංවා ගැනීම සහ සංවර්ධනය කර ගැනීම පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය දෙයකි.සාර්ථක පුද්ගලයෙක් සාර්ථක වෘත්තිකයෙක් පමණක් නොව සාර්ථක නායකයකු බිහිවනු ලබන්නේ මෙම මෘදු කුසලතා රාශියක එකතුවකි.
- අනුවර්තනය වීමේ හැකියාව.
අනුවර්තනය වීම යනු නම්‍යශීලි බව සහ ඔරොත්තු දීමේ හැකියාව සමඟ නව තත්ත්වයන් අභියෝග හෝ අනපේක්ෂිත වෙනස්කම්වලට හැඩගැසීමේ කලාවකි. වර්තමානය ලෝකය වේගයෙන් වෙනස් පවතින කාලවකවානුවකි.එවැනි පරිසරයක් තුල වැඩ කිරීම සඳහා අනුවර්තනය වීමේ හැකියාව වෘත්තීය ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි.කර්මාන්ත සහ තාක්ෂණය වෙනස් වෙමින් සහ වැඩිදියුණු වෙමින් පවතින අතර මිනිසුන්ට මෙම වෙනස්වීම හා සමාන වේගයකින් ගමන් කිරීමට සිදුවේ. එය සිදු කිරීම යම්කිසි අපහසුවක් ගෙන දෙන නමුත් මෙම අනුවර්තනය වීමේ මෘදුකුසලතාවය ප්‍රගුණ කර ඇති පුද්ගලයෙකුට නවීන ලෝකය සමඟ ගනුදෙනු කිරීම ඉතාමත් පහසු කටයුත්තකි.අනුවර්තනය වෙමින් සිටින වෘත්තිකයා නිරන්තරයෙන් නව ලෝකය සමග ඉතාමත් යාවත්කාලීන වූ සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් උද්යෝගයෙන් නව තොරතුරු සහ දැනුම උකහා ගැනීම සඳහා කටයුතු කරයි.මෙවැනි පුද්ගලයන් සතුව විවෘත මනසක් කුතුහලයක් සහ චිත්තවේගී බුද්ධියක් සතු වේ.
සන්නිවේදනය
සන්නිවේදනය යනු සෑම වෘත්තීය අන්තර් ක්‍රියාවකටම අත්‍යවශ්‍ය මෘදු කුසලතාවයකි.එය පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමට ප්‍රතිපෝෂණ බෙදා ගැනීමට සහ පාර්ශවකරුවන් සමඟ ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා අවකාශය සලසයි.මෙහිදී වාචික සන්නිවේදනය තුළින් පැහැදිලිව සංක්ෂිප්තව සහ විශ්වාසයෙන් කතා කිරීමට හැකිය.එය රැසීම්වලදී අදහස් ඉදිරිපත් කිරීම හෝ වෘත්තීය සාකච්ඡා තුළදී ඉතාම සාර්ථකව සන්නිවේදනය කිරීම සඳහා අවශ්‍ය වේ.ලිඛිත සන්නිවේදනය තුළින් තේරුම් ගැනීමට සහ පහසු දෝශ වලින් තොර වාර්තා සහ ලේඛන සැකසීම සඳහා අවශ්‍ය වේ.සන්නිවේදනයෙහි එන වාචික නොවන සන්නිවේදනය තුළදී ප්‍රකාශ කිරීමට අවශ්‍ය පණිවුඩය ශරීර භාෂාව කටහඬින් සහ මුහුණෙහි ඉරියව් තුළින් සන්නිවේදනය කිරීමට හැකියාව ලැබේ.මෙම කුසලතාවය ව්‍යාපෘති කණ්ඩායමක ඵලදායි සේවකයකු රඳවා ගැනීමට සහ වරදවා වටහා ගැනීම් වළක්වා ගනිමින් අනෙකුත් පාර්ශව වෙත අදහස් ඉතාමත් හොඳින් සන්නිවේදනය කිරීමට යොදාගත හැකිය.
ගැටළු විසඳීමේ හැකියාව
ගැටළු විසඳීම යනු අභියෝග හඳුනා ගැනීම ඒවා විශ්ලේෂණය කිරීම සහ ඵලදායී විසඳුම් සෙවීම ඇතුළත් මූලික මෘදු කුසලතාවයකි.බාධක සහ අනපේක්ෂිත ගැටලු ඕනෑම සේවා ස්ථානයක සිදුවිය හැකි බැවින් එය සියලුම රැකියා භූමිකාවන් සහ කර්මාන්තවල සාමාන්‍ය දෙයකි.ශක්තිමත් ගැටලු විසඳීමේ කුසලතා වෘත්තිකයන්ට අත්‍යවශ්‍ය දෙයකි.ඉතාමත් හොඳින් ගැටලු විසඳීමේ කුසලතා ඇති වෘත්තිකයකුට ඉක්මනින් දැනුවත් තීරණ ගැනීම සඳහා හැකියාව ලැබේ ඒ තුළින් වේගවත් වැඩ පරිසරයක් තුළ කටයුතු කිරීම පහසුවේ.එසේම ඵලදායී ගැටලු විසඳීමේ මෘදු කුසලතාවය සහිත වෘත්තිකයකුට ඉතාමත් ඉක්මනින් නිර්මාණශීලී නවෝත්පාදන අදහස් ලබා දීමට හැකියාව ලැබේ.මෙම ගැටලු විසඳීමේ මෘදු කුසලතාවය සංවර්ධනය කරගන්නා වෘත්තිකයෙකුට ඉතාමත් හොඳින් රැකියා ස්ථානයෙහි කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ.
කාල කළමනාකරණය.
කාල කළමනාකරණ යනු යම්කිසි කාර්යයක් ඉටු කිරීමට නියමිත කාලසීමාවන් සපුරා ගැනීමට සහ ඉලක්ක සපුරා ගැනීමට තම කාලය කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස භාවිතා කිරීමේ හැකියාවයි.මෙම කුසලතාවය සහිත පුද්ගලයන් හට යම්කිසි කාර්යයක් ලබාදීමේදී ඒ තුළින් ඇතිවන පීඩනය වළක්වා ගනිමින් සමබර කාර්ය ප්‍රවාහයක් පවත්වා ගැනීම සඳහා එම කාර්ය සංවිධානය කර ගැනීමේ හැකියාව ලැබෙයි.කාල කළමනාකරණය යනු පුද්ගලික සහ වෘත්තීය ජීවිතය යන දෙකටම තීරණාත්මක කුසලතාවයක් වන අතර පුද්ගලයන්ට සෑම දිනකම ඔවුන්ගේ විශාල වැඩ ප්‍රමාණයක් සීමිත කාලයකින් උපරිම ප්‍රයෝජනයකින් යුක්තව ළඟා කර ගැනීම සඳහා උපකාර වේ.මෙම කාල කළමනාකරණ කුසලතාවය තුළින් වඩාත් වැදගත් කාර්යයන් කෙරෙහි මුලින් අවධානය යොමු කිරීම සිදුකළ හැකිය.
නිර්මාණශීලී චින්තනය හා නවෝත්පාදනය
පුද්ගලයන්ට සහ ආයතනවලට නව අදහස් ගෙන ඒමට සහ නිරන්තරයෙන් වෙනස් වන තරගකාරී ලෝකයක ආයතන තරගකාරීව තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය මෘදු කුසලතාවයකි.නිර්මාණශීලී චින්තනය යනු කොටුවෙන් පිටත සිතීමට සහ නව අදහස් ජනනය කිරීමට ඇති හැකියාව වන අතර නවෝත්පාදනය මෙම අදහස් ක්‍රියාකාරී විසඳුම් හෝ වැඩිදියුණු කිරීම බවට පරිවර්තනය කිරීම සඳහා හැකියාව ලබාදෙයි.නිර්මාණශීලී අදහස් ඇති වෘත්තිකයෙකුට විවිධ කෝණ වලින් ගැටලු වලට ප්‍රවේශ වීමට හැකියාව ඇති අතර විවිධ විසඳුම් ජනනය කළ හැකිය. ඒ තුළින් රැකියාවේදී මතුවන ගැටලු සහ අභියෝගවලට මුහුණ දීම සඳහා නව්‍ය ක්‍රම සොයා ගැනීම සඳහා ඔවුන් විශේෂ කාර්යභාරයක් ඉටු කරයි.නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය පුද්ගලික වෘත්තීය සාර්ථකත්වයට සහ ආයතනවල දීර්ඝකාලීන සාර්ථකත්වය යන දෙකකටම අත්‍යවශ්‍ය වේ මෙම කුසලතා අඛණ්ඩව වර්ධනය කිරීමෙන් පුද්ගලයන්ට නැවුම් තීක්ෂණ බුද්ධියක් ගෙන ඒමට සහ ඔවුන්ගේ භූමිකාවන්ට අර්ථවත් ලෙස සමීප වීමට අවස්ථාව උදාවේ.
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.
බොහෝ විට රැකියා ලෝකයේ සිටින වෘත්තිකයන් හට දෘඪ කුසලතා වුවමනාවටවත් වඩා තිබුණද මෘදු කුසලතාවල හිග බවක් දක්නට ලැබේ. ඒ බව ඔවුන්ගේ හැසිරීම්, ක්‍රියා කලාප සහ රැකියා ජීවිතයේදී යම් යම් දේවල් සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය තුළින් හඳුනා ගැනීමට හැකියාව ලැබේ.
වෘත්තීය සාර්ථකත්වය සඳහා මෘදු කුසලතා, අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයකින් යුතුව වැඩ කිරීමට සහ කණ්ඩායම් වැඩ කිරීමේදී මෘදු කුසලතා ඉතාමත් අවශ්‍ය දෙයකි. වෘත්තිකයෙකුට සේවා ස්ථානයක වැඩ කිරීමේ දී තනිව හුදකලාව කටයුතු කිරීම කළ නොහැක.විවිධ පුද්ගලයන් සමඟ, විවිධ කණ්ඩායම් සමඟ, විවිධ දෙපාර්තමේන්තු සමග කටයුතු කිරීමට සිදුවේ. ඒ සඳහා අවශ්‍ය සම්බන්ධතා ගොඩනගා ගැනීමට සහ ඒ ඒ අංශ සහ පුද්ගලයන් සමග කටයුතු කිරීමට අවශ්‍ය සන්නිවේදනය, සංවේදනය, ගැටුම් නිරාකරණය ආදිය ලැබෙනුයේ පුද්ගලයකු සතුවන මෘදු කුසලතා තුළිනි.එසේම කණ්ඩායම් වැඩ ඵලදායී ලෙස සිදුකිරීමටත් ආයතනය තුළ පොදු ඉලක්ක කරා ළඟා වීමට අවශ්‍ය හැකියාව මෙම මෘදු කුසලතා තුළින් සෘජුව සහ වක්‍රාකාරව වෘත්තිකයකු තුළින් ලබා දෙයි.
ඕනෑම රැකියාවක් දිනෙන් දින වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරයි. සේවස්ථානයේ නවීනත්වය නව තාක්ෂණ ඒකාබද්ධ වීම, විවිධ පුද්ගලයන් සමග එදිනෙදා කටයුතු කිරීමට සිදුවීම ආදී වූ ගතික පරිසරයකට රැකියාවක් සිදු කරන වෘත්තිකයකු හට මුහුණ දීමට සිදුවේ. මෘදු කුසලතා වලට අයත් අනුවර්තනය වීමේ හැකියාව සහ ඉගෙනීමට ඇති කැමැත්ත යන කුසලතා තුළින් වෘත්තීය ගතිගත්වයේ ස්වරූපය අනුව වෙනස්වීමට හැකියාව ලැබෙයි.
චිත්තවේගීය බුද්ධිය, තීරණ ගැනීම සහ වගවීම ආයතනයක් තුළ වෘත්තිකයකු ප්‍රගුණ කළ යුතු අනිවාර්යෙන් මෘදු කුසලතා කිහිපයකි.ආයතනයක් තුළ මතුවන විවිධ ගැටලුකාරී තත්ත්වයන් සඳහා මුහුණ දීමට සහ එහිදී උචිත තීරණ ගැනීම සඳහා මෘදු කුසලතා අවශ්‍ය වේ. වෘත්තිකයෙක් විසින් ගනු ලබන තීරණ ආයතනයෙහි අනෙකුත් පාර්ශවයන්ට කුමන ආකාරයකින් බලපාන්නේද යන්න අවබෝධ කරගත යුතුය.
වෘත්තීය සම්බන්ධතා පෝෂණය කිරීම සඳහාද මෘදු කුසලතා අවශ්‍ය වේ.ජාලකරණය සංවේදනය සහ ක්‍රියාශීලී සවන් දීමේ අන්තර් පුද්ගල කුසලතා වර්ධනය කිරීම තුළින් ගනුදෙනුකරුවන් සහ අනෙකුත් වෘත්තිකයන් සමඟ ඉතාමත් හොඳින් සම්බන්ධතා ගොඩනගාගෙන යාම සඳහා අවකාශය සැලසේ.
ඔබ දැනට රැකියාවක් සිදුකරන පුද්ගලයෙක් ද? එසේත් නොමැති නම් ඉදිරියේදී රැකියාවක් අපේක්ෂාවෙන් වෘත්තීය ජීවිතයකට අඩිතාලම දමමින් සිටින පුද්ගලයෙක් ද?එවැනි ජීවිතයක් හිමි ඔබ ඔබගේ සාර්ථකත්වය සම්පූර්ණ කර ගැනීම සඳහා ඔබව ඉහළ මට්ටමකින් තබා ගැනීම සඳහා මෘදු කුසලතා සංවර්ධනය කර ගැනීම වෘත්තීය ජීවිතයට ධනාත්මක ලෙස බලපාන බව අවබෝධ කරගත යුතුය.
මංජුලා දිසානායක.