ඩෙංගු රෝගය යනු?
ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරීරගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝග ලක්ෂණ මතු වුවහොත් එය සාමාන්‍ය මද උණ තත්ත්වයක් එනම ඩෙංගු උණ(Dengue Fever - DF) සහ ඩෙංගු රක්තපාත උණ(Dengue Haemorrhagic Fever - DHF) එනම් අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වයක් දැකගත හැකිය.මෙම අසාමාන්‍ය තත්වය ඉතා කලාතුරකින් වැළඳේ.
ඩෙංගු බෝ වන්නේ කෙසේද?
ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළු වන්නේ ඩෙංගු වෛරසය ශරීරගතවූ පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙනි.
එනම් ඩෙංගු මදුරුවෙකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත.තවද පුද්ගලයෙකුගේ වයස, ප්‍රතිශක්තීකරණය හා ඩෙංගු වෛරසයේ ප්‍රභේද(Serotype) මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැකිය.
උණ රෝගය සෑදුනු විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම රක්තපාත උණ(DHF) වැනි අවදානම් අවස්ථා වලට ද පත්විය හැකි නිසා ය. මෙම අවදානම් අවස්ථා මුල් අවධියේ දී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීමට අපහසු වේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මනින් සුව වන අතර අවදානම් අවස්ථාවල දී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවදානම් අවස්ථා ඉක්මනින් හඳුනා ගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වේ.වැළඳී ඇත්තේ ඩෙංගු උණ ද යන්න හඳුනා ගැනීමට උණ සමඟ හිසරදය හා ඇස් යට වේදනාව,මස්පිඩු හා සන්ධි වේදනාව,ඔක්කාරය සහ වමනය,සමෙහි රතු පැහැ ලප හට ගැනීම,රුධිර වහන තත්ත්වයන් ආදී රෝග ලක්ෂණ තුළිනි.උණ රෝගියා ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙම සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්ථාවට පත්වන රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමය (ඩෙංගු රක්තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ) ඒ සඳහා උණ සෑදී දින 02ට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC - Full Blood Count) වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීර ගතවී ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවන් මගින් ඩෙංගු උණ (DF) හා ඩෙංගු රක්තපාත උණ (DHF) වෙන්කර හදුනා ගත නොහැකිය. මෙම ඩෙංගු වෛරසයට ප්‍රභේද 4ක් ඇත. යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇතිවන්නේ එම අදාළ ප්‍රභේදයට පමණක් බැවින් ඔහුට නැවත අනෙකුත් ප්‍රභේද මගින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේ දී එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය(විශේෂයෙන් දෙවන අවස්ථාවේ ) වැඩි වේ.
මෙම වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක් පෙන්නුම් කරයි. එබැවින් හොදින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 02 කට පසුව FBC පරීක්ෂාව කොට රෝගියා රෝහල් ගතකල යුතු ද යන්න තීරණය කරනු ඇත. එම FBC පරීක්ෂාව සාමාන්‍ය වුවත් පසුදින නැවත වරක් එය සිදුකල යුතුය.
ඩෙංගු රක්තපාත උණ (DHF) යනු?
ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි අවදානම් අවස්ථාවකි. උණත් සමග ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම මුල් අවධියේ පහසු නොවේ. එහි දී උණ බැස යාමත් සමග ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනී වලින් පිටතට (විශේෂයෙන් පෙනහළු ප්ලූරා පටල අතරට, උදර කුහරයට) ප්ලාස්මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3වන දින හෝ ඊට පසුව සිදුවන අතර දිනපතා කරන රුධිරය පරීක්ෂා (FBC) වල වෙනස්කම් මඟින් හඳුනාගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගුකාලයක් ප්ලාස්මාව කාන්දු වීම මඟින් කම්පන අවස්ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්ථාවට පත්වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවදානම් ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.
ඩෙංගු අවදානම් ලක්ෂණ වන්නේ උදරයේ ඇතිවන තද වේදනාව,නොනවත්වා වමනය පැවතීම,අධික නිදිමත බව නොසන්සුන් බව,අප්‍රාණික බව,රුධිර වහනය වීම (විදුරුමසෙන්,නාසයෙන්),දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළ පහවීම,පැය 06ට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම ආදියයි.
උණ වැළඳී ඇති විට වෙහෙසකර කටයුතු වලින් බැහැර වී හොඳින් විවේක ගැනීම,උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් (Paracetamol) ඖෂධය ලබා ගැනීම,තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරය තැවීම සිදු කළ යුතු වේ.එහි දී වේදනා නාශක ඖෂධ,Non Steroidal Anti Inflammatory Drugs (NSAID's) කාණ්ඩයේ ඖෂධ හා ස්ටීරොයිඩ් (Steroids) භාවිතයෙන් වැළකිය යුතුය.
සැහැල්ලු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම ද වැදගත් වේ.උණ පවතින කාලය තුළ දී මදුරුවන් දෂ්ට කිරීම හැකිතාක් වලක්වා ගත යුතු ය.
උණ සහිත කාලය තුළ භාවිතා කළ යුතු ආහාර වන්නේ උණ හා වමනය නිසා ඇතිවන විජලන තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග,ළමුන්ට ග්ලූකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබා දිය යුතු අතර රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණයක් බැගින් අර්ධ ඝන සැහැල්ලු ආහාර වේල් කීපයක් ලබා දිය යුතුය.
අවධානම් ලක්ෂණ නොමැති වුව ද ගර්භනී මවුවරුන්,අවුරුදු 1 ට අඩු දරුවන්,අධිබර සහිත රෝගීන්,වැඩිහිටි පුද්ගලයින්,නිදන්ගත රෝග සහිත පුද්ගලයින් රෝහල් ගත විය යුතුය.
ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකූලතා.
සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථා වලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මන්‍ය වීම,මොළයට සිදුවන බලපෑම් වැනි සංකූලතා ඇති වී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය.නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකිය.
ඩෙංගු මදුරුවන් දෂ්ට කරන වේලාවන්.
සාමාන්‍යයෙන් ඊඩිස් මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක් යන තුරු ද, සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙර ද වැඩිපුර දෂ්ට කිරිම සිදුකරයි. එබැවින් මෙම කාලය තුළ දෂ්ටන වලින් ආරක්ෂා විය යුතුය.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන.
මිනිස් ක්‍රියාකාරකම් වලින් ඇති වූ ඉවතලන ප්ලාස්ටික්, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියළි පොල් කෝම්බ හා වැහි පීලි වැනි ජලය රැඳෙන ස්ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි. තව ද, බ්‍රෝමිලියා, අන්නාසි වැනි වතුර එක් රැස් වන පත්‍ර අතර ද, ගස් බෙන වැනි ස්වාභාවිකව ජලය රැඳෙන ස්ථානවල ද ඩෙංගු මදුරුවන් බෝ වේ.නිවසින් පිටත මෙන්ම නිවෙස් ඇතුළත අඳුරු ස්ථාන වල ද මදුරුවන් රැඳී සිටිය හැකිය.
අත් පා හොඳින් ආවරණය වන ඇඳුම් ඇඳීම,මදුරු දැලක් යට විවේකීව සිටීම,
මදුරු විකර්ශක භාවිතා කිරීම ( පැඟිරි තෙල් හෝ කෘතීම විකර්ෂක) තුළින් මදුරුවන්ගේ දෂ්ට කිරීම්වලට ගොදුරු වීමේ ප්‍රවණතාවය අවම කරගත හැකි ය.
ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගැනීමේ පියවර.
භාවිතා කළ හැකි ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්ක්‍රීකරණය කිරීම, අනෙකුත් බඳුන් මදුරුවන් බෝ නොවන ලෙස විනාශ කිරීම,වැහිපීලි වල හිර වී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කිරීම, වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කිරීම,වතුර එක්රැස් වන ස්ථාන ලිං සහ ටැංකි වලට මදුරුවන්ට ඇතුල්විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කිරීම,නිරන්තරයෙන් සතියකට වරක් ගෙවත්ත හා ගෙතුළ හොඳින් පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීම ආදිය තුළින් ඩෙංගු මදුරුවන් බෝ වීම සහ ඩෙංගු රෝගයට ගොදුරු වීම අවම කරගත හැකිය.
ජීවතය තීරණය කිරීමට ඩෙංගු මදුරුවෙකුට ඉඩ නොදී ඉහත ක්‍රියාවන් අනුගමනය කරමින් ඩෙංගු මාරයාට තිත තැබීම මිනිස්සුන් වන අපගේ වගකීමකි.
තිසාරා රාජපක්ෂ .