ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය අද මේ බව කියා සිටියා.
ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇති බව එහි සඳහන්.
එමඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් යන අංශවලින් ගෝලීය ප්‍රමිතියට ළඟා වීම රජයේ අපේක්ෂාව වන අතර, පුරවැසියන් සවිබල ගැන්වීම උදෙසා ඩිජිටල් පොදු යටිතල පහසුකම් ස්ථාපිත කිරීම මඟින් බහු-ආංශික ඩිජිටල් පරිවර්තනයක් සඳහා රජය දැඩිව කැප වී සිටින බවයි.
ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ කීර්තිමත් පුද්ගලයෙකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා දැනට ආසිආටා සමාගමේ විදුලි සංදේශ ව්‍යාපාර ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ විධායක අධ්යක්ෂ ලෙස කටයුතු කරන අතර, ඔහු නියමිත කාලයකින් පසු එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙනවා.
මෙම කාල පරිච්ඡේදය තුළ, ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විධායක නොවන සභාපතිවරයා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි අධ්යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබා දෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඒ හරහා රජය අපේක්ෂා කරන ඩිජිටල් පරිවර්තනය සඳහා අදාළ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇති බවත් එහි දැක්වෙනවා.
මීට අමතරව, ජනාධිපතිවරයාගේ ඍජු විෂය පථය යටතේ අලුතින් පිහිට වූ අමාත්‍යංශයක් වන ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඩිජිටල් ආර්ථික ත්වරණය අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කරන ඉහළම ආයතනයක් වන ඩිජිටල් ආර්ථික අධිකාරියේ සභාපතිවරයා යන තනතුරු ද්විත්වයම ඒ මහතා විසින් දරනු ඇති.