
සුරක්ෂිත වූ ප්‍රවාහනය කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට අතිශය වැදගත් දෙයකි. ලිංගික හිංසනයන්ට බිය නොවී පොදු ප්‍රවාහන සේවයක් පාවිච්චි කිරීමේ නිදහස ඔවුන්ට තිබිය යුතුය. එසේ නොමැති වුවහොත් එය ඔවුන්ගේ අධ්‍යාපනයට රැකියාවට හා පෞද්ගලික ජීවිතවලටද අහිතකර විය හැකිය. ලංකාව වැනි තවමත් සංවර්ධනය වෙමින් පවත්නා රටක් ලෙස පොදු ප්‍රවාහනය පිළිබඳව අමුතුවෙන් කිවයුතු වන්නේ නැත.තවමත් ලංකාව තුල නිදහසේ තවත් කෙනෙකුගේ ශරීරයක ස්පර්ශ වීමකින් තොරව පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කිරීමට අපහසු තත්ත්වයක් ඇති රටකි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සිදු කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇත්තේ පොදු ප්‍රවාහන සේවයේදී කාන්තාවන් 90% ලිංගික හිංසනවලට ලක්වන බවයි.එම සමීක්ෂණය සඳහා යොදාගත් පිරිස අතරින් සීයට 50% ක් රැකියා පිණිස ගමන් කරන්නන්,28% අධ්‍යාපනය පිණිස ගමන් කරන්නන්, 20% ක් වෙනත් පුද්ගලික අවශ්‍යතා සඳහා ගමන් කරන පිරිස් විය. මෙලෙස පොදු ප්‍රවාහන සේවා තුළදී වන හිරිහැර බොහෝ දුරට සිදුවන්නේ වැඩි පිරිසක් පොදු ප්‍රවාහනය භාවිතා කරන උදෑසන සහ සවස් කාලය තුළදී ය. මෙවැනි වේලාවන්හි පොදු ප්‍රවාහන සේවා වල ඉතා අධික තදබදයක් සහිතය.එසේම ගමනාන්තයේ සඳහා වන දුර සහ ගතවන කාලයේද මේ සඳහා සුළු බලපෑමක් ඇති කරන බව හඳුනාගෙන ඇත.
ලෝකය පුරාම සිටින කාන්තාවන් විවිධ ස්වරූපවලින් පොදු ප්‍රවාහනය තුළදී ලිංගික අතවර, හිංසනයන්ට ගොදුරු වෙති. මෙහි විටෙක අවසන් සීමාව ස්ත්‍රී දුෂණයක් දක්වා ගොස් ඝාතනයක් බවට පත්වීමයි. කාන්තාවන් හා ගැහැණු ළමයින්ගේ ජීවිතයට පොදු ප්‍රවාහන සේවය වර්තමානය වන විට ඉතාමත් අනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය කර ඇත.මෙම තත්ත්වය ලංකාව තුළ පමණක් ඇතිවන තත්ත්වයක් නොවේ. ජපානය වන දියුණු රටවල් වල පවා කලාතුරකින් වුවද මෙවැනි සිදුවීම් වාර්තා වෙයි. ප්‍රවාහන සේවයක් තුළදී කාන්තාවන්ට සිදුවන හිංසන සංවර්ධනය වෙමින් පවතින රටවල් වල පමණක් සිදු වන්නක් නොවේ.කලාතුරකින් සංවර්ධිත රටවල් වලටද පොදු වූ තත්ත්වයකි. මේ නිසාවෙන් පොදු ප්‍රවාහනය තුළදී කාන්තාවන්ට සිදුවන හිංසන පිළිබඳව හඬක් නැගිය යුතු කාලයක් උදාවී තිබේ. කාන්තාවන් හට මෙවැනි හිංසනකාරී අවස්ථාවක් උදාවූ විට කලබල කිරීම් ,කෑ ගැසීම් හෝ රණ්ඩු සරුවල් වීමට ඇති අකමැත්ත නිසා එවැනි සිදුවීම් වාර්තා වීමේ ප්‍රමාණය සීමා වී තිබේ.බොහෝවිට කාන්තාවන් මෙවැනිි අවස්ථාවලදී විරුද්ධ වීම් සහ ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටීමට උත්සාහ කරයි.
පොදු ප්‍රවාහන සේවයේදී හිංසනකාරී තත්වයන් වෙනුවෙන් පවතින නීතිමය පැතිකඩ
ලංකාවේ පොදු ප්‍රවාහනය තුළදී හෝ වෙනත් අවස්ථාවලදී හිරිහැර හිංසනකාරී කටයුතු සිදුවන්නේ නම් ඒ සඳහා නීතිමය තත්ත්වයක් ඇත.නමුත් එය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ ද යන්න ගැටලුවකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) වගන්තියට අනුව
"කිසිම පුරවැසියෙකු වර්ගය, ජාතිය ,ආගම, භාෂාව ,කුලය ,ස්ත්‍රි පුරුෂ භාවය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය."
1995 අංක 22 දරන දණ්ඩන නීති සංග්‍රහ සංශෝධන පනතේ 345 කොටසට අනුව,
ලිංගික හිංසනයක් යනු ,
"දඬුවම් ලැබිය හැකි සාපරදි වරදකි.මෙම කොටසට අනුව ලිංගික ස්වරූපී පහරදීම්, සාපරාදී බලය යෙදවීම්, හිංසනයට ලක්වන පුද්ගලයා කුපිත කරවන වචන හෝ ක්‍රියා ඇතුළත් වන බවද සඳහන් වේ.හිංසනයකින් තොරව ජීවත්වීමට ඕනම පුද්ගලයකුට අයිතිවාසිකමක් ඇත. ඒ සඳහා යම් යම් නීතිමය ප්‍රතිපාදන ද සම්පාදනය කර ඇති නිසාවෙන් ඒ වෙනුවෙන් හිංසනයට විරුද්ධව නැඟී සිටීමට හෝ හඬක් නැගීමට ලැජ්ජාවට හෝ බියට පත්විය යුතු කරුණක් නොවේ."
පොදු ප්‍රවාහනය තුළ කාන්තාවන් හිංසනයට ලක් වීමට හේතු
බොහෝ රටවල්වල මෙන්ම ලංකාවේද කාන්තාවන් සංකීර්ණ සමාජ, සංස්කෘතික හේතු ගණනාවක් නිසාවෙන් පොදු ප්‍රවාහනයේදී හිරිහැර වලට මුහුණදෙති.
- ජනාකීර්ණ හා ප්‍රමාණවත් නොවන ප්‍රවාහන යටිතල පහසුකම් ප්‍රධානතම හේතුවකි. බස් රථවල හා දුම්රිය වල තදබදය කාන්තාවන්ට පුද්ගලික අවකාශය පවත්වා ගැනීමට අභියෝගයක් වී ඇත. ඒ නිසාවෙන් හිරිහැර වඩාත් පහසුවෙන් සිදුවිය හැකි භෞතික පරිසරයක් නිර්මාණය වී ඇත.
- බොහෝ කාන්තාවන් පොදු ප්‍රවාහනය තුළදී සිදුවන හිරිහැර අත්දැකීම් පිළිබඳව හඬ නැගීමට බියත් දක්වන අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට හා අත්දැකීම් පිළිබඳව පැවසීමට සීමා මතුවී තිබීම තව තවත් මෙවැනි තත්ත්ව ඇතිවීමට මග පාදයි.
- බොහෝවිට කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ඔවුන්ගේ අයිතිවාසිකම් හෝ ඔවුන් වෙනුවෙන් ඇති වාර්තා කරන යාන්ත්‍රණ පිළිබඳව ඇති අඩු දැනුවත්භාවය සහ අවබෝධය ද මෙහිදී බලපා ඇත.
- පොදු ප්‍රවාහනයට බොහෝ විට ඵලදායී ආරක්ෂක නිලධාරීන්, නිරීක්ෂණ කැමරා හෝ හදිසි ප්‍රතිචාර දැක්වීමට සුදුසු ආරක්ෂක යාන්ත්‍රණයක් නොමැති වීමද හේතුවක් වී ඇත. මේ නිසාවෙන් හිරිහැර කරන්නන් සඳහා බාධාවකින් තොරව ඔවුන්ට ඔවුන්ගේ කාර්යය පහසුවී තිබේ.
- හිරිහැර හිංසනවලට එරෙහිව කොතෙකුත් නීති ඇතත් බොහෝ අවස්ථාවලදී ඒවා ක්‍රියාත්මක නොවේ.ප්‍රතිචාර දැක්වීමට ඇති බිය බලධාරීන් කෙරෙහි විශ්වාසයක් නොමැතිකම හෝ මෙවැනි ගැටලු පිළිබඳව බැරෑරුම් ලෙස නොසලකනු ඇතැයි යන බිය නිසා බොහෝ කාන්තාවන් මෙවැනි සිදුවීම් පිළිබඳව වාර්තා නොකරයි.
පොදු ප්‍රවාහනය තුළ සිදුවන හිංසන වළක්වා ගත හැකි ක්‍රියාමාර්ග
පොදු ප්‍රවාහනය තුළ විවිධාකාර වූ මිනිසුන් ගමන් කරති. ඔවුන් එකිනෙකාගේ මානසික තත්ත්වයන් විවිධාකාර ඒ නිසාවෙන් පොදු ප්‍රවාහනය භාවිතා කරන අයෙක් නම් ඒ පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුය. ආරක්ෂාකාරී වීම සඳහා සිදු කළ යුතු පිළිවෙත් මොනවාද යන්න අවබෝධයක් තිබිය යුතුය.
- බස් රථ, දුම්රිය සහ දුම්රිය ස්ථානවලදී කැමරා පද්ධති සවිකිරීම තුළින් කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන ප්‍රචණ්ඩකාරී හිංසන වළක්වා ගත හැකි අතර ඒ තුළින් අපරාධකරුවන් හඳුනාගත හැකිය. එසේම හදිසි අවස්ථාවකදී හදිසි සන්නිවේදනය සඳහා හදිසි සන්නිවේදන පද්ධති ගොඩනැංවිය යුතුය.
- බොහෝ අවස්ථාවලදී පොදු ප්‍රවාහන සේවාවල සේවය කරන නිලධාරින් වුවද යම්කිසි හිංසනකාරී තත්ත්වයක් තමාගේ ප්‍රවාහන සේවය තුළදී සිදු වුවද නොදැක්කා සේ සිටි.ප්‍රවාහන සේවය සඳහා සේවකයන් බඳවා ගැනීමේදී සහ පුහුණු කිරීමේදී ඔවුන්ට ඒ පිළිබඳව දැනුවත් කිරීම් සහ එවැනි අවස්ථාවලදී ගත යුතු ක්‍රියාමාර්ග සහ තීරණ පිළිබඳව අවබෝධයක් සහ දැනුවත් කිරීමක් ලබාදිය යුතුය.
- නිරන්තරයෙන් මෙවැනි පොදු ප්‍රවාහන සේවා තුළදී ඇතිවිය හැකි තත්ත්වයන් මොනවාද යන්න මගීන් හට දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය . එසේම කුඩා දරුවන්ට ඔවුන්ගේ ළමා අවධියේ සිටම පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කරන්නේ කෙසේද ,තවත් අයකුට කරදරයක් හිරිහැරයක් නොවී කාන්තාවන්ට ගැහැණු ළමුන්ට හා වැඩිහිටියන්ට එවැනි පොදු ප්‍රවාහන සේවයක් තුළදී ගරු කිරීමකින් යුක්තව කටයුතු කරන්නේ කෙසේද යන්න පුරුදු පුහුණු කළ යුතුය.එසේම හිංසනකාරී තත්ත්වයක් උදව්වහොත් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න ඔවුන්ට හුරු කළ යුතුය. එවැනි පිරිසක් ක්‍රමක්‍රමයෙන් සමාජගත වීමේදී මෙවැනි හිංසනකාරී තත්ත්වයන් පොදු ප්‍රවාහන සේවය තුළදී මෙන්ම සමාජය තුළදී ද ඇතිවීම සීමා කරගත හැකිය.
- පොදු ප්‍රවාහනය තුළදී හිංසාකාරී ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදීම, දඩ මුදල් ගෙවීමට නීතිමය කටයුතු සකස් කිරීම, පොදු ප්‍රවාහනය තහනම් කිරීම වැනි දඬුවම් ක්‍රම ස්ථාපිත කර බලාත්මක කළ යුතුය. ඒ තුළින් දඬුවමට බියෙන් හෝ එවැනි ක්‍රියා සිදුවීම වළක්වා ගත හැකිය.
පොදු ප්‍රවාහන සේවය රටක මහජනතාවගේ අයිතියකි. ඒ තුළ නිදහසේ ආරක්ෂිතව ගමන් කිරීමට අවශ්‍ය පරිසරය ඒ ඒ සේවා අංශය විසින් ගොඩනැගීම ඔවුන්ගේ වගකීමකි. එවැනි අවස්ථාවලදී හිංසනකාරී ක්‍රියා නැවත නැවත සිදුවන්නේ නම් තමාගේ ආරක්ෂාව සහතික කර ගැනීම හා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොදු ප්‍රවාහනය භාවිතා කරන පිරිසට අයිතියක් ඇත. භාවිත නොකර ඒ පිළිබඳව හරි හැටි දැනුවත් වීමකින් තොරව මෙවැනි තත්ත්වයන් සීමා කරගත නොහැකිය.
මංජුලා දිසානායක.