නිමක් නොදකින ගාසා යුද්ධයේ දී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ක්‍රමෝපාය අභියෝගයට ලක් කළ ඔහුගේ දක්ෂිණාංශික රජයේ එක ම කැබිනට් අමාත්‍යවරයා ඉවත් කර තිබෙනවා.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් ඔහුගේ තනතුරෙන් ඉවත් කරමින් අගමැති නෙතන්යාහු ප්‍රකාශ කළේ විශ්වාසය පිළිබඳ අර්බුදයක් හේතුවෙන් ඔහු ඉවත් කළ බවයි.
ගාසා යුද්ධයේ අරමුණු සහ සීමාවන් පිළිබඳව අගමැති නෙතන්යාහු සමග මත ගැටුමක පැටලී සිටි ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් යනු ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා හමාස් සංවිධානය සමග යම් එකඟතාවයකට එළැඹිය යුතු බවට අදහස් කළ අයෙකි.
එහෙත් යුද යාන්ත්‍රණය මෙහෙයවීමේ දී ඔහු ඊශ්‍රායලයේ පූර්ණ යුද ශක්තිය යොදාගැනීමට පසුබට නොවූවා.
ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින අවස්ථාවක මෙන්ම ඊශ්‍රායලයේ ප්‍රධාන සහකරු අමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ මෙය සිදුකිරීම විශේෂ සිද්ධියක් වනවා.
ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් රජයේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණවලට පටහැනි ප්‍රකාශ සිදු කළ බවට අගමැති නෙතන්යාහු තව දුරටත් චෝදනා කරනවා.
නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික සන්ධාන රජයේ දැඩි මතධාරියෙකු වන ඉට්මාන් බෙන් ගවීර් සඳහන් කළේ ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් ඊශ්‍රායලයට පූර්ණ ජය්‍රහණයක් අත්කර ගැනීමට බාධාවක් වන බවයි.
එහෙත් ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් තනතුරෙන් පහ කිරීම මැදපෙරදිග යුද්ධය උමතු යුද්ධයක් (AN ACT OF MADNESS) බවට පත්කරනු ඇතැයි ඊශ්‍රායල විපක්ෂ නායක යයීර් ලපිඩ් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයා සඳහන් කළේ, ඉවත් කළ ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් අමෙරිකාවේ වැදගත් පාර්ශ්වකරුවෙකු වූ බවයි.
එමෙන්ම නව ආරක්ෂක අමාත්‍ය ඉස්රායෙල් කාට්ස් සමග අඛණ්ඩ සහයෝගීතාවකින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයා කියා සිටියා.
වසර 35ක් හමුදා සේවයේ නිරතව සිටි හිටපු ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් හමුදාවේ තනතුර අනුව ජෙනරාල්වරයෙකි.
ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් ඉවත් කිරීමට විරෝධය පාමින් දහස් සංඛ්‍යාත ඊශ්‍රායල වැසියන් ටෙල් අවීව් නුවරට රොක් වී ඇත්තේ ඊශ්‍රායල රජයට සහ අගමැති නෙතන්යාහුට එරෙහිව හඬ නගමින්.
විරෝධතාකරුවන් ටෙල් අවීව් නුවර ප්‍රධාන මාර්ගයක් අවහිර කළේ දැඩි වාහන තදබදයක් ද ඇති කරමිනුයි.
ඊශ්‍රායලයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වී සිටින කාට්ස්, අගමැති නෙතන්යාහුගේ දිගුකාලීන සමීපතමයෙකු මෙන්ම ඔහුට සමාන අදහස් දරන අයෙකු ලෙස ප්රකටයි.
ඍජු සහ දැඩි ප්‍රතිපත්ති සහිත පුද්ගලයෙකු නිසා ඊශ්‍රායල මාධ්‍ය විසින් ‘බුල්ඩෝසර්‘ යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන කාට්ස් පාලක ලිකුද් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළ අයෙකි.
ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කිරීමෙන් පසු කාට්ස් ප්‍රතිඥා දුන්නේ හමාස් සංවිධානය මෙන්ම ලෙබනනයේ හෙස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම පරාජය කොට ප්‍රාණ ඇපකරුවන් මුදාගන්නා බවටයි.
ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කිරීමට පෙර ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයාව සිටි කාට්ස් ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාමාර්ගවලට, විශේෂයෙන් ගාසා යුද්ධයට විරෝධය දැක්වූ ලෝක නායකයන් සහ ජාත්‍යන්තර සංවිධාන දැඩි ලෙස විවේචනය කරන්න පසුබට වුණේ නැත.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත මෙහෙයුම අනර්වා ඊශ්‍රායලය තුළ තහනම් කිරීමට ඔහු පුරෝගාමීත්වය ගෙන කටයුතු කළා.
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ට ඊශ්‍රායලයට පැමිණීම තහනම් කිරීමේ ප්‍රකාශය නිකුත් කළේ ද ඔහු විසිනුයි.
විදේශ අමාත්‍යවරයා ලෙස ඉස්රායෙල් කාට්ස්ගේ අවසන් රාජකාරිය වුණේ අනර්වා සමග ඊශ්‍රායලයේ සබඳතා අවසන් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් දැනුම්දීමයි.
ඉස්රායෙල් කාට්ස් ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කිරීමෙන් පුරප්පාඩු වූ විදේශ අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ අගමැති නෙතන්යාහුගේ තවත් සමීපතමයෙකු වන ගිඩියන් සාර් ය.
නීතිඥයෙකු සහ ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ගිඩියර් සාර් නෙතන්යාහුගේ ලිකුද් පක්ෂයේ නැගී එන තාරකාව (RISING STAR) ලෙසයි සැලකුණේ.
පසුව 2020 වසරේ ලිකුද් පක්ෂයෙන් ඉවත්වී නිව් හෝප් (NEW HOPE) නමින් නව දේශපාලන ව්‍යාපාරයක් බිහිකළ ගිඩියන් සාර් 2021 වසරේ දී නැවත ඊශ්‍රායල රජයට එක්වුණා.
ඊශ්‍රායලයේ නෙතන්යාහු රජයේ මේ වෙනස්කම් ප්‍රකාශයට පත්කෙරුණේ ගාසා තීරයේ සහ ලෙබනනයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබිය දී.