පුද්ගලයෙකුගේ ජීවිතයේ සුන්දරම අවධිය ළමා කාලය කියලා කිව්වොත් එය නිවැරදියි. ඒ සුන්දර ලෝකය ඇතුළේ අපි තාමත් ජීවත් වෙනවා. පුංචි කාලේ අපිට ලස්සන ලස්සන හීන ගොඩක් තිබ්බා. පොල් කට්ටට පස් පුරවලා කෝම්පිට්ටු කේක් හදපු කාලයක් අපි හැමෝට ම වගේ තිබ්බා. ඒ වගේ ම තමයි හිතින් මවාගත්ත රට රාජ්ජෙක රජෙක් හරි රැජිනක් හරි වෙලා ඒ රාජ්ජෙ පාලනය කරපු කාලෙක අපි හැමොම ජීවත් වුණා. පොඩි කාලේ අම්මගෙ ඇගේ ම එල්ලිලා හිටියත් ටික ටික ලොකු වෙද්දි යාලුවොත් සෙල්ලම් කරන්න අපි පුරුදු වුණා.
පළවෙනි වතාවට ඉස්කෝලෙට ගිය දවස ගොඩක් අයට මතක ඇති. පාසලේ නිළ ඇදුමත් ඇදගෙන, අම්මගේ හරි තාත්තගේ හරි අතේ එල්ලිලා, අනිත් අතින් බුලත් අතකුත් අරගෙන අපි ඉසකෝලෙ ගියා. එහෙම ගියපු පළවෙනි දවසෙම අපේ පන්තිභාර ගුරුතුමිය අපිට කිව්වේ හොදට ඉගෙනගෙන හොද ළමයෙක් වෙන්න කියලා.
විලක තියෙන නෙලුම් පොහොට්ටු ඔයාලා ඕන තරම් දැකලා ඇති. අන්න ඒ වගේ තමයි පුංචි ළමයි. ඒ නෙලුම් පෙහොට්ටුවලට ඉර එළිය, ජලය වගේ දේවල් හම්බවුණා ම ඒ නෙලුම් පොහොට්ටු පිපිලා විල ලස්සන වෙනවා. ඒ වගේ තමයි ළමයින්ට දැනුමයි ගුණයහපත්කමයි ලැබුනහම ඒ අය ලොකු මහත් වෙලා අනාගතයෙදි රට ලස්සනට බබළවන මල් වෙනවා.
හැබැයි, මේ දැනුමයි ගුණයහපත්කමයි අපිට ලැබුණට විතරක් මදි. අපි ඒවා ලබාගන්නත් ඕන. ඉගෙන ගන්න වෙලාවෙදි හරියට ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න ඒවා හොදට මතක තියාගන්න. හැම වෙලාවක ම තමන් උපමා කරලා අනිත් අයට හිරිහැර කරන එක නවත්තන්න. පුලුවන් තරම් අනික් අයට කරුණාවන්ත වෙන්න. කරදරයක් වුණ ඕන ම කෙනෙක්ට හැකි පමණින් උදවු කරන්න. තව කෙනෙක්ට හරි ගියොත් ඒ ගැන ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව සතුටු වෙන්න. අපි අනික් අයට දෙන තරමට ම අපිට වැඩියෙන් හම්බවෙනවා.
කතාවක් තියෙනවා රජ වුණත් වැඩක් නැහැ දැනුමයි ගුණයහපත්කමයි නැත්තම් කියලා. ඉතිං මේ සුන්දර ලමා කාලය සතුටින් ගතකරන ගමන් අනාගතයත් සුන්දර කරන්න අපි හැමෝම උත්සහ කරමු.
ඔමායා හතුරුසිංහ.