/
/
title icon
විදුලි ගාස්තු සංශෝධනය කිරීම ලබන වසරට කල් යන ලකුණු
විදුලි ගාස්තු සංශෝධනය කිරීම ලබන වසරට කල් යන ලකුණු
Presila Sandaruwani
3 months ago
Share:
විදුලි ගාස්තු සංශෝධනය කිරීම ලබන වසරට කල් යන ලකුණු

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම මත විදුලි ගාස්තු සංශෝධනයක් මේ වසර තුළ සිදු නොවනු ඇති බව වාර්තා වනවා.

මහජන උපයෝගීතා කොමිසමේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සැප්තැම්බර් මස අග මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබූවා.

එහෙත් ඔවුන් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු අඩුවීම ප්‍රමාණවත් නොවන බැවින් යළි එම යෝජනා සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණා.

අදාළ යෝජනා නොවැම්බර් 08 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසට කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණ ද එම දිනයට යෝජනාවලිය ඉදිරිපත් නොකළ විදුලිබල මණ්ඩලය ඒ සදහා නොවැම්බර් 22 වන දින දක්වා කාලය ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබුණා.

එහෙත් එම දිනයට ද ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා ඉදිරිපත් නොකළ අතර තවත් සති දෙකක කාලයක් ඒ සඳහා ලබාදෙන ලෙස ඔවුන් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් මස 06 වන දින දක්වා ලංකා විදුලි බල මණ්ඩලයට කල් ලබාදීමට මහජන උපයෝගීතා කොමිසම සැලසුම් කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ දිනයට යෝජනා ඉදිරිපත් කළ ද එම යෝජනා අධ්‍යයනය කර විදුලි ගාස්තු සං‍ශෝධනය කිරීමේ ක්‍රියාවලියට සති 06ත් 8ත් අතර කාලයක් ගත වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

මෙම තත්ත්වය තුළ විදුලි ගාස්තු සංශෝධනය ලබන වසර දක්වා කල් යනු ඇති බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් ලබන මස 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබා දීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ මේ සම්න්ධයෙන් ලිඛිතව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් බවයි.

පසුගිය කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභ ලබා ඇති බැවින් එහි ප්‍රතිලාභ සේවකයින් වෙත බෙදී යා යුතු බව අදාළ ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

විදුලි බල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් වසර දෙකක පමණ කාලයක් ලංකා විදුලි බල මණ්ඩල සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදීමට පාලනාධිකාරිය පියවර නොගත් බව ද ලංකා විදුලි සේවක සංගමය සිය ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required