
දකුණු කොරියාවේ E8 වීසා ක්‍රමය ඉකුත් රජයන් රැකියා ගිවිසුමක් හෝ නොමැතිව අනීතික අයුරින් පවත්වාගෙන ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා අද අනාවරණ කළා.
ඒ අදාළ වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවට යෑමේ අපේක්ෂාවෙන් සිටින පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට ප්‍රතිචාර දක්වමිනුයි.
E8 විසා ක්‍රමය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටින පිරිසක් දින කිහිපයක සිට විවිධ අවස්ථාවන්වල දී බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිට දී විරෝධතාවල නිරතවුණේ තමන්ට රැකියා සඳහා යෑමට ඇති අවස්ථාව බලධාරීන්ගේ නොසැළකිල්ල මත අහිමි වන බවට චෝදනා කරමින්.
එම විරෝධතාවන්ට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් ඊයේ පෙරවරුවේ එම ස්ථානයට පැමිණ යළිත් විරෝධතාවක නිරත වුණා.
පසුව පිරිස එහි තාවකාලික කූඩාරමක් ඉදිකිරීමට සූදානම් වුවත් පොලීසියෙන් ඊට බාධා එල්ල වුණා.
අනතුරුව විරෝධකරුවන් එහි අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබූවා.
පසුව සත්‍යග්‍රහයේ නිරත පිරිස් එම ස්ථානයේ ආහාර පිසිමින් රැය පහන් කළ බවයි වාර්තා වන්නේ.
මෙම E8 වීසා සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ අනුමැතිය ලබාදීමට අවශ්‍ය මූලික සුදුසුකම් වන රැකියා ගිවිසුමක් හෝ නොමැති බවත්, දේශපාලනික අරමුණු වෙනුවෙන් රැකියා අපේක්ෂකයින්ගෙන් මුදල් ලබාගෙන සිදුකර ඇති අනීතික ක්‍රමවේදයක් බව ද කෝශල වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේවෙතත්, සත්‍යග්‍රහයේ නිරත පිරිස් පවසන්නේ තම ගැටලුවට නිසි විසඳුමක් ලැබෙන තෙක් මෙම ක්‍රියාමාර්ගය අවසන් නොකරන බවයි.