රිය අනතුරක් සිදුකර පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මීට පෙර වරෙන්තු නිකුත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ, ඔහු නීතිඥවරයෙක් මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුවයි.
සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ, අදාළ නඩුව කැඳවනු ලැබූ ඉකුත් 26 වැනිදා තම සේවා දායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් එහි පැවැති රැස්වීමකට සහභාගි වූ බවයි.
ඒ බව තහවුරු කරන ලිපියක්ද නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විදේශගත වීම නිසා මෙම නඩුව කැඳවන දිනය සම්බන්ධයෙන් තම සේවා දායකයා තුළ ගැටලුවක් තිබූ බවත් නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව සිය සේවදායකයා වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළා.
නඩුව නැවත මාර්තු මස 04 වැනිදා කැඳවීමටයි නියෝග කෙරුණේ.