
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර මාස 13ක් තිස්සේ පැවති සටන් නතර කිරීම සඳහා සටන් විරාම ගිවිසුමකට එකඟත්වය පළ වී ඇති බව පසු ගිය සතියේ වාර්තා විය. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් නොවැම්බර් 27 වන දින සවස 04:00 සිට ක්‍රියාත්මක වන පරිදි ලෙබනන්-ඊශ්‍රායල් දේශසීමා හරහා ක්‍රියාත්මක වූ සටන් අවසන් වනු ඇති බව නිවේදනය කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම සටන් විරාම ගිවිසුම "සතුරුකම් ස්ථිර ලෙස නැවැත්වීම" අරමුණු කරගෙන ගත් තීරණයක් බවයි.

හිස්බුල්ලා සංවිධානය ගිවිසුමේ එකඟතාවන් අතරින් එක් කොටසක් හෝ උල්ලංඝණය කළහොත් නැවත පහර දීමට පසුබට නොවන බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරනාත්මකව ප්‍රකාශ කළේ ය. 2023 ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය සමග දරුණු යුධ සටනක නිරතව සිටි හිස්බුල්ලා කණ්ඩායම මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. සැප්තැම්බර් මස අග දී ඊශ්‍රායලය විසින් එල්ල කළ දරුණු බෝම්බ ප්‍රහාර හේතුවෙන් යුධමය තත්ත්වය උග්‍ර වූ ආකාරය අපට දැක ගත හැකි විය. එය මාධ්‍ය වාර්තා කළේ දශක කිහිපයක කාලයක දී ලෙබනනය මුහුණ දුන් දරුණු ම සටන ලෙසයි. ලෙබනන් බලධාරීන්ගේ වාර්තා අනුව මෙම සටන් නිසා පුද්ගලයින් 3823 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී ඇත. 5,859 දෙනෙකු තුවාල ලබා තිබේ. ඊට අමතරව, හිස්බුල්ලා පාලනය පවතින ප්‍රදේශවල පදිංචිකරුවන් මිලියනයක් පමණ අවතැන් වූ බවයි. ලෝක බැංකුව ලෙබනනයේ ආර්ථික හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 8.5ක් (පවුම් බිලියන 6.8) ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මෙය යථා තත්ත්වයට පත්වීමට කාලයක් ගත වනු ඇති බව ද විශ්වාස කෙරෙයි. මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වීමට සුළු වේලාවකට පෙරදී ද දෙපාර්ශවයෙන් ම ප්‍රහාර සිදු වූ බව ද වාර්තා විය.
මෙම සටන් විරාමය ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් සිදු වී ඇති අතර එය අඟහරුවාදා දින ප්‍රකාශයට පත් කර ඇත. මෙම සටන් විරාමයට හේතු වූයේ මිනිසුන්ට ආහාර, වාසස්ථාන සහ ප්‍රථමික සෞඛ්‍ය සේවා වැනි මූලික අවශ්‍යත සපුරා ගැනීමට නොහැකිව ඔවුන් පීඩා විඳීමයි. එම සටන් විරාම ගිවිසුමට අනුව ලෙබනන් රජයේ හමුදා දැනට හිස්බුල්ලා සංවිධානය විසින් අල්ලාගනු ලැබ සිටින ප්‍රදේශයක පාලනය නැවත තමන් යටතට ගැනීමත් සමග ඊශ්‍රායලය ලෙබනනයේ දකුණු කලාපයෙන් සිය හමුදා ක්‍රමයෙන් ඉවත් කර ගැනීමට දින 60ක කාලයක් හිමි වනු ඇත. 2006 දී අවසන් වරට පැවති ඊශ්‍රායල-හිස්බුල්ලා යුද්ධය අවසානයේ පිහිටුවන ලද මායිමක් වන ලිටානි ගඟට දකුණින් පිහිටි ප්‍රදේශයෙන් හිස්බුල්ලා සටන්කරුවන් සහ ආයුධ ඉවත් කරනු ඇති බව ද ඉන් අපේක්ෂා කෙරෙයි. පසුගිය ශත වර්ෂයේ වසර 20කට වැඩි කාලයක් ලෙබනනය පාලනය කළ ප්‍රංශය ද දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන අතර සටන් විරාමය නිරීක්ෂණය කිරීම හරහා ඊට සම්බන්ධ වීමට අපේක්ෂා කරනු ඇත. සටන් විරාමය කළමනාකරණය කිරීම සඳහා ඇමෙරිකානු හමුදාවක් නොයවන බව ද බයිඩ්න් තහවුරු කර තිබුණි. හිස්බුල්ලා සාමාජිකයින් සටන් විරාම ගිවිසුම කඩ කළහොත් ඊට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඊශ්‍රායලය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත. ජනාධිපති බයිඩ්න් මෙය හඳුන්වා ඇත්තේ ඊශ්‍රායලය "ජාත්‍යන්තර නීතියට අනුකූලව ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය රඳවාගෙන සිටිනවා" යනුවෙනි. "හිස්බුල්ලා සංවිධානය ගිවිසුම කඩ කර ආයුධ අතට ගැනීමට උත්සහ කළහොත් අපි පහර දෙනවා. ඒ වගේ ම, දේශසීමා ආසන්නයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම් යළි ගොඩ නැගීමට උත්සහ කළහොත් අපි පහර දෙනවා" යනුවෙන් නෙතන්යාහු පවසා තිබුණි.

ලෙබනනයේ ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය බොහෝ කලක සිට ඉරානයේ පළමු ආරක්ෂක වළල්ල ලෙස ක්‍රියාත්මක වනු අපට දක්නට ලැබිණි. එහෙත්, හිස්බුල්ලා කණ්ඩායමේ මිසයිල අවි ගබඩාවෙන් බොහෝමයක් දැන් විනාශ වී ඇති හෙයින් ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද සමබරතාව ගතහොත් ඉන් ඊශ්‍රායලයට දෙසට වැඩිපුර වාසි තත්ත්වයක් ඇති බව අධ්‍යයනය කළ හැක. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය දිගු කලක් තිස්සේ සතුරන් වූ නමුත්, පසුගිය මාස 13 පුරාවට ඔවුන් සටන් වැදුණේ ගාසා තීරයේ යුද්ධය පදනම් කරගෙන ය. හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ, ඔවුන්ගේ ගාසා තීරයේ මිතුරන් වන හමාස් සංවිධානය පුද්ගලයින් 1,200කට මරු කැඳවමින් 2023 වසරේ ඔක්තෝබර් 7 වන දා දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට පසු දිනයේ දී බව ඔබට මතක ඇත. මෙම සටන් විරාමය හේතුවෙන් ලෙබනනයේ සටන් සඳහා සූදානම් කළ ඊශ්‍රායල් ආරක්ෂක බළකා සාමාජිකයින්, ආයුධ, පතොරම් ආදිය තවමත් අවසානයක සලකුණක් නොපෙනෙන ගාසා තීරයේ ඉරාන තර්ජනයන් කෙරෙහි යොමු කිරීමට ඉඩක් ලැබෙනු ඇති බව ඊශ්‍රායල් ජනපති ප්‍රකාශ කර තිබුණි. අඟහරුවාදා නෙතන්යාහු සිය කැබිනට් මණ්ඩලය සමග සටන් විරාම ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවට වාර්තා පළවෙද්දී ද ඊශ්‍රායල් ආරක්ෂක හමුදා සිය ප්‍රහාර අඛණ්ඩව දියත් කර තිබුණි. එහි දී අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවමින් බේරූට් වෙත ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.
මෙම සටන් විරාමයක් ඉදිරිපත් කිරීම සහ පසුබැසීමේ දී ජාත්‍යන්තර පාර්ශවයන්ගේ ප්‍රතිචාර හා අදහස් රැසක් මතු විය. මෙහි දී විවිධ ජාත්‍යන්තර සංවිධාන සහ රටවල්, ගාසා ප්‍රාන්තයේ මනුෂ්‍යවාදී තත්ත්වයන්ට අදාළව සහ ව්‍යුහගත ක්‍රියාදාමයන් සදහා උදව් කිරීමට කැමැත්ත පළ කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සටන් විරාමයට සහ සාම සාකච්ඡාවන්ට මැදිහත්වීමේ දී සාධාරණ ලෙස ක්‍රියා කළහ. UN මෙම විරාමය ජනතාවගේ ආරක්ෂාවට අවශ්‍ය බව කියමින් ආධාර සැපයීම හා ප්‍රථමික සෞඛ්‍ය සේවා ප්‍රදානය සඳහා ඔවුන්ගේ සහාය පිරිනමන බව පවසා තිබුණි. මනුෂ්‍යවාදී කටයුතු සංවිධානය (HRW) සටන් විරාමය සඳහා මැදිහත් වීමේ දී ප්‍රසිද්ධ වූ පාර්ශවයකි. HRW, ගාසාහි මිනිසුන්ට ආහාර, ජීවිත හා වාසස්ථානය සහ ආරක්ෂාව ලබා දීමට පූර්ණ අවශ්‍යතාවයක් ඇති බව දැක්වීය. එක්සත් ජනපදය, ඊශ්‍රායල සහ හමාස් අතර සාම ගිවිසුම් සම්බන්ධයෙන් මතු වන සාම ක්‍රියාදාමයන්ට ක්‍රියා පවත්වාගෙන යාමට සහාය දක්වන්නට කටයුතු කළහ. මෙයින් එක්සත් ජනපදය ගාසාහි ජනතාවට ජනතා ආධාර හා ආරක්ෂාව ලබා දීම ද සිදු කෙරිණි. ජාත්‍යන්තර සංවිධානයන්, සොලිඩාරිටි ක්‍රියාදාමයන්, සහ පූර්ව නිවහන සාම සාකච්ඡාවන් මත බහුතරයක් මේ සඳහා එකඟ වන බවත්, ගාසාහි සාම සහ සහාය මාලාව ව්‍යුහගත කිරීමේ අරමුණින් ඔවුන්ගේ සහාය සහ මැදිහත් වීමක් පවතින බව ප්‍රකාශ කළහ.

ලෙබනනයේ අගමැති නජීබ් මිකාටි සටන් විරාම ගිවිසුම පිළිගත් අතර එය රට තුළ “සන්සුන්තාව සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවරක්” ලෙස හඳුන්වමින් සිය පුරවැසියන්ට ආපසු නිවෙස් වෙත යාමට මේ වන විට ඉඩ සලසා දී තිබේ. නමුත් ඊශ්‍රායලය මෙම ගනුදෙනුවට "සම්පූර්ණයෙන් ම අනුකූලව" කටයුතු කළ යුතු බවත්, දැනට අල්ලාගෙන සිටින ස්ථානවලින් ඉවත් විය යුතු බවත්, 2006 වසරේ අවසන් වරට පැවති හිස්බුල්ලා-ඊශ්‍රායල් යුද්ධය අවසානයේ කලින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ යෝජනාවට ගරු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේ ය.
සැකසුම - මංජුලා දිසානායක, තිසාරා රාජපක්ෂ
සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි