/
/
title icon
05 වසර ශිෂ්‍යත්ව විභාග ගැටලුවේ අවසන් ප්‍රතිඵලය
05 වසර ශිෂ්‍යත්ව විභාග ගැටලුවේ අවසන් ප්‍රතිඵලය
Presila Sandaruwani
4 months ago
Share:
05 වසර ශිෂ්‍යත්ව විභාග ගැටලුවේ අවසන් ප්‍රතිඵලය

පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිට වූ ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙම ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීම තුළින් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියා.

පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බව සඳහන් කරමින් එම විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී සොලිසිටර් ජනරාල්වරයා විසින් මෙම දැනුම්දීම සිදුකළා.

මෙම පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි ප්‍රශ්න තුනක් කලින් පිට වූ බව සඳහන් "පළමු ප්‍රශ්න පත්‍රය" යළි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා දැනුම්දීම සඳහා මෙම පෙත්සම අද කැඳවා තිබුණා.

එහි දී අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් 25 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් මෙම කරුණට අදාළව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා.

ඒ අනුව අදාළ ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පැවැත්වීම තුළින් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකියාව තිබෙන නිසා එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල්වරයා පැවසූවා.

ඒ අනුව කලින් පිටවූ බව සඳහන් ප්‍රශ්න තුන සඳහා එම විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර තිබෙන බවත් සොලිසිටර් ජනරාල් වරයා අධිකරණයට දැනුම් දුන්දුන්නා.

අදාළ ප්‍රශ්න පත්‍රය යළි පැවැත්වීමට යාම තුළින් විභාග දෙපාර්තමේන්තුවේ සෙසු විභාග පැවැත්වීමේ කටයුතු අවුල් සහගත වීමට හැකියාවක් තිබෙන බව සඳහන් කළ සොලිසිටර් ජෙනරාල්වරයා මේ තුළින් හයවන ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාදාමය ද ප්‍රමාද විය හැකි බවත් පැවසූවා.

ඊට අමතරව මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනුකර තිබෙන බවත් සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියා.

මෙහි දී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන මහත්වරු ඇතුළු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම් කෙටි දිනයක් තුළ විභාගයට ගැනීම සඳහා දින නියම කරන ලෙසයි.

ඒ අනතුරුව පෙත්සම් විභාගය දෙසැම්බර් මස 11 වනදා පැවැත්වීමට ද නියෝග කෙරුණා.

මෙම පෙත්සම් ඉකුත් දා විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය 05 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීම සහ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required