/
/
title icon
හිටපු ජනපතිට දරුණු අපරාධ චෝදනාවක්
හිටපු ජනපතිට දරුණු අපරාධ චෝදනාවක්
Presila Sandaruwani
2 months ago
Share:
හිටපු ජනපතිට දරුණු අපරාධ චෝදනාවක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දුෂණයකට පසුව කරනු ලැබු දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසනවා.

එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ දී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ඊට වැය කරන ලද රුපියල් කෝටි 72කට වැඩි මුදල අපතේ යෑම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම් බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් පෙන්වාදෙනවා.

ඔහු පවසන්නේ එම මුදල අදාළ තීන්දුව ගත් පාලකයින්ගෙන් අයකර ගන්නා ලෙස ඉල්ලමින් මෙලෙස ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි.

වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි  උපේක්ෂාවෙන් බලා සිටින බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම තමා විසින් අපතේ දැමූ ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ඨ සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බව ද එම ලිපිය මඟින් අවධාරණය කර තිබෙනවා.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

- උපුටාගැනීම -

මීට මාස 22කට පෙර කැඳ වූ නාමයෝජනා අවලංගු කොට නවයෝජනා කැඳවීමට ද පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ. විකෘතිය, ප්‍රකෘතිය බවට පත් කිරීමේ මේ තීරණයට සියලු ම දේශපාලන පක්ෂවල ද පුරවැසියන්ගේ ද ආශිර්වාදය හිමිවනවා නොඅනුමාන ය.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් තම දේශපාලන ශූන්‍ය භාවය වසා ගැනීමේ අප්‍රකාශිත අරමුණ සහිතව, 2023 ජනවාරි අග සතියේ දී අත්තනෝමතික ලෙස ගනු ලැබූ මැතිවරණය අවලංගු කිරීමේ තීරණය නිසාවෙන්, පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට වියදම් කොට ඇති රුපියල් කෝටි හැත්තෑ දෙකකට (720,000,000/=) වැඩි රාජ්‍ය මුදල අපතේ යනු ඇතැයි මැතිවරණ කොමිසම උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කොට තිබුණි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එවකට ඇස්තමේන්තු ගත කරන ලද මුළු පිරිවැය, රුපියල් බිලියන 8 කි (8,000,000,000/=). ඒ අනුව, කිසිදු සාධාරණ හේතුවක් හෝ නොමැතිව මෙලෙස අපතේ යාමට නියමිත මුළු මුදල් ප්‍රමාණය අපේක්ෂිත මුළු වියදමෙන් 10% ක් බව නිරවුල්ය. තවද මෙම අසීමිත ධනය, පාලකයන් තම වතු ආදායමින්  උපයාගත් ඒවා හෝ තම පවුලේ ගිණුම්වලින් වෙන්කරගත් මුදල් නොව මහජනතාවගේ රීරි මාංශ සුරා උපයා ගත් බදු මුදල් බව ද අතාර්කිකය. පැහැදිලිය.

එසේම එදවස, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණය කළ, මැතිවරණ කොමිසමට හා කොමසාරිස්වරුන්ට ගරහමින්, මැතිවරණ පවත්වන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සහ එහි විනිසුරන් අවමානයට පත් කරමින්, මැතිවරණ සඳහා භාණ්ඩාගාරයට මුදල් නැති බව පවසමින් නොනැවතී අවසානයේ, මැතිවරණයකට නාමයෝජනා කැඳවා නැතැයි යනුවෙන් අශිෂ්ට ප්‍රකාශ පාර්ලිමේන්තුවේ දී සභා ගතකිරීමට තරම්, රාජ්‍ය නායකයා තමා දේශපාලන කවන්ධයක් බව තහවුරු කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වීම විගඩමක් ලෙසින් වුව ද සාහසික ව්‍යාකරණයන් සමගින් ඉතිහාසයේ සටහන්ව අවසානය.

ජනාධිපතිවරයා, තම අප්‍රකාශිත දේශපාලන කාමය සංසිඳුවා ගැනීමේ වුවමනාවෙන්, මැතිවරණය කල් දැමීමට තීරණය කරනු ලැබුවේ තැපැල් ඡන්ද විමසීමට ආසන්න මොහොතේ දී වීම දේශපාලනිකව වඩාත් සාහසික ය. ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත් කළ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මෙලෙස මැතිවරණ කල් දැමීම, සාමූහික දුෂණයකට පසුව කරනු ලැබූ දේශපාලන ගබ්සාවක් වන්නා සේම මුල්‍යමය වශයෙන් ගත් කළ මෙය, මහ දවල් කරනු ලැබූ ආර්ථික ඝාතනයක් බව දැන් මොනවට පැහැදිලි වේ.

රාජ්‍ය භාණ්ඩාගාරය සතු බදු මුදල් වූ උක්ත කෝටි 72 ට අමතරව, නාම යෝජනා භාරදුන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ අපේක්ෂක අපේක්‍ෂිකාවන් අසූදාස් හයසිය හැත්තෑ දෙදෙනෙකු (80,672) මැතිවරණය වෙනුවෙන් වියදම් කොට අපතේ යාමට නියමිත මුදල මෙපමණකැයි කිසිවෙකුට තක්කරු කළ නොහැක. ඊට අමතරව, මේ පිරිස, ඔවුනගේ ඇප මුදල් වශයෙන්ම වසර දෙකක් පුරා තැන්පත් කොට ඇති මුදල පමණක් රුපියල් මිලියන එකසිය අසූවක් (රු. කෝටි 18ක්) වන අතර එය ම මේ ආර්ථික ඝාතනයේ විසකුරු ස්වරූපය මැන ගතහැකි පර්යේෂණීය සාක්ෂියකි.

එබැවින්, මහ බැංකු මංකොල්ලය, සීනි බදු වංචාව, වීසා වංචාව වැනි අප දේශපාලන සාහිත්‍යයේ සඳහන් වූ අපරාධ ගොන්නට පුංචි ඡන්ද මංකොල්ලය ලෙස මෙය ඇතුළත් කළයුතු අතර ව්‍යවස්ථාවෙන් හිමි කරගෙන ඇති දේශපාලන වරප්‍රසාද නොසලකා වග උත්තරකරුවන්ට දැඩිදඬුවම් ලබාදිය යුතු ය.

රාජ්‍ය බදු මුදල් ගෙවා ගත නොහැකිව, ණය පොලී ගෙවා ගත නොහැකිව, දරුවන් පාසල් යැවීමට නොහැකිව, විදුලි බිල ගෙවා ගත නොහැකිව, දහස් සංඛ්‍යාත පුරවැසියන් දිවි නසා ගන්නා රටක මේ සා විශාල මහජන ධනස්කන්ධයක්, හපකොට දැමූ දේශපාලන  පිශාචයන් දණ්ඩනයට කැප කිරීම සමාජ යුතුකමක් හා වගකීමක්  නොවන්නේද?

එම නිසා, අපයෝජනය කළ මෙම කෝටි 72 ක මහජන ධනය, මීට වසර දෙකකට පෙර අදාල තීන්දුව ගත් පාලකයන්ගෙන් අයකරගන්නා ලෙස ඉල්ලා පුරවැසියන් ලෙස අපි අධිකරණ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට අපේක්ෂා කරන්නෙමු. ඊට අමතරව, වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි උපේක්ෂාවෙන් බලා සිටින අතර නව මැතිවරණය සඳහා දින නියම වීමට සමාන්තරව ම මිලියන විසි දෙකක් වූ වින්දිතයන්ට සාධාරණය ඉටු වෙනු ඇතැයි යන්න බදු ගෙවන ජනතා අපේක්ෂාව බවද දැනුම් දිය යුතුව තිබේ.

ඒ සියල්ලට ම පෙර, තමා විසින් අපතේ දැමූ මෙම ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ඨ සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බව ද ගෞරවයෙන් පෙන්වා දීමට කැමැත්තෙමු.

- උපුටාගැනීම අවසන් - 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required