/
/
title icon
පොලිස් ඉතිහාසය වෙනස් කළ කාන්තාවන්
පොලිස් ඉතිහාසය වෙනස් කළ කාන්තාවන්
Thamalee Pathiraja
2 weeks ago
Share:
පොලිස් ඉතිහාසය වෙනස් කළ කාන්තාවන්

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ මෙරට ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පිට වාර්තා තබමිනි. ඒ පිටුපස සිටි නොසැලෙන ශක්තිය වූයේ කාන්තාවන් ය.මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවට යන්නේ ද, මෙවර මහා මැතිවරණයෙනි. රටේ දෙවැනි පුටුව කාන්තාවක් හොබවන පසුබිමක මෙරට පොලීසියේ ලොකු පුටු රැසක්ද මේ වන විට කාන්තාවන් අතට පත් වී ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයද උඩු යටිකුරු කරමිනි.

පොලිස් සේවාව මෙරට ස්ථාපිත වන්නේ ඉංග්‍රීසීන් විසින් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමත් සමඟිනි. ඒ වර්ෂ 1796 දීය. ඉතිහාසගත තොරතුරුවලට අනුව මුල්ම පොලිස් ස්ථානය වන්නේ මරදාන පොලිස් ස්ථානයයි. එහෙත් අපේ රටේ විධිමත් ආකාරයට ව්‍යවස්ථාපිතව පොලීසියක් ක්‍රියාත්මක වූයේ යැයි සැලකෙන්නේ 1866 සැප්තැම්බර් 03 වෙනිදා සිටය. එතැන් සිට ගෙවී ගිය වසර 158ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය කාන්තා නිලධාරිනියන් අතට පත්වී නැත. පොලීසියේ හදවත බඳු පොලිස් ක්ෂේත්‍ර බාලිකා මූලස්ථානයේ අණදෙන නිලධාරීකම කාන්තාවක් අතට ගොස් නැත.පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ධුරය පැවතියේ පිරිමි නිලධාරීන්ගේ අණසකට යටත්ව ය.

ඓතිහාසික වෙනස් වීම්

වත්මන් වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය සියල්ල වෙනස් කරනු ලබන්නේ පොලිස් කතුන්ට නිසි තැන ලබාදීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් ය.

කාන්තාවන්ට සමතැන ලබාදීමට මුල් වූ පොලිස්පතිවරු අතර ඉතිහාස ගත වන්නේ පූජිත් ජයසුන්දර සහ සී.ඩී. වික්‍රමරත්නය. පොලිස් කතුන්ට ඉහළට යාමට අවකාශ ඇති බව සඳහන් කරමින් අනාගතයේ දිනක පොලිස් කාන්තාවක් පොලිස්පති වනු ඇති බවට පසුගිය අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේ පැවති ගිණුම් කාරක සභා රැස්වීමේදී එවකට සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවසන විට බොහෝ අය ඒ දෙස බැලුවේ අවඥාසහගත ලෙසය. ඒ අවස්ථාවේදී සී.ඩී. වික්‍රමරත්නගේ හයියට සිටියේ වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පමණි.

සී.ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරය දරමින් සිටියදී ඔහු කාන්තා නිලධාරිනියන්ට පොලිස් ස්ථානාධිපති ධුරය ලබාදීමට වැඩසටහනක්ද ආරම්භ කරනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මුල් වරට කාන්තාවක් පොලිස් ස්ථානාධිපති පුටුවේ වාඩිවන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර සේවයේ නිරතව සිටි වකවානුවේ දී ය. ගම්පහ නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස පොලිස් පරීක්ෂිකාවක වන කාංචනා සමරකෝන් පත්කරමින් ඇරඹි ඒ විප්ලවයට ඇගෙන්ම නැවතීමේ තිත තැබෙන්නේ කාන්තාවන්ට පොලිස් ස්ථානාධිපති ධුරය ලැබීමෙන් බඩගෝස්තරවාදී ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන්ගේ මෙන්ම දේශපාලනඥයන්ගේ උදහසට ලක් වෙමින් ය.

කාන්තා පිරිමි පත්කිරීම් වෙනස

බාධා හා බලපෑම් එකපිට ආවත් සී.ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයෙක් ලෙස සිය සටන අතහැර දැමුවේ නැත.  ඔහු දිගින් දිගටම කරුණු පෙන්වා දෙමින් මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරියක්, නියෝජ්‍ය පොලිස්පතිවරියන් සිව් දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 13 දෙනෙක් වශයෙන් පොලීසියේ කාන්තා නිලධාරීන් ඉහළට ගෙන ඒමට අවශ්‍ය අනුමැතීන් ලබා ගත්තේ ය. ඒ 2021 වසරේ අගෝස්තු 12 වෙනිදාය. ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුර 12 ක් පිරිමි නිලධාරීන්ට වෙන්වන විට කාන්තාවන්ට වෙන්වන්නේ 01ක් පමණි. නියෝජ්‍ය පොලිස්පති ධුර 48ක් පිරිමි නිලධාරීන්ට වෙන්වන විට කාන්තාවන්ට වෙන්වූයේ 04කි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූර පිරිමි නිලධාරීන්ට 169ක් වෙන්වන විට කාන්තාවන්ට වෙන්වූයේ 13කි. පොලිස් අධිකාරි ධුර පිරිමි නිලධාරීන්ට 162ක් වෙන්වන විට කාන්තාවන්ට වෙන් වන්නේ 04ක් පමණි. සහකාර පොලිස් අධිකාරි ධුර පිරිමි නිලධාරීන්ට 314ක් වෙන්වන විට කාන්තා නිලධාරීන්ට වෙන් වන්නනේ 16ක් පමණි.මෙවන් පසුබිමක.

කාන්තාවන් කරළියට

බිම්සානි ජයසිංහ  ආරච්චිට අමතරව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින රේණුකා ජයසුන්දර, පොලිස් සුබසාධන අංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරත ජයන්තා පද්මිණි වීරසූරිය සහ පරියේෂණ හා තොරතුරු අංශයේ ප්‍රධානී නිශානි සෙනෙවිරත්න යන නිලධාරිණියන්ට නියෝජ්‍ය පොලිස්පතිවරු වන්නට අවස්ථාව ලැබෙන්නේ ද ඒ අනුවය. අද වන විට ශ්‍රී ලංකා පොලීසියේ බැබළෙන චරිත වන මෙම නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්වන්නේද බිම්සානි මෙන්ම වැඩබලන පදනම මතය. ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස්වීම් ලැබීමේදී සම්පූර්ණ කළ යුතු කාලය මෙම නිලධාරීන් ඒ වන විට සම්පූර්ණ කර නොමැතිව සිටි බැවිනි. දැන් ඒ අයගේ කාලය උදා වී ඇති බව පැහැදිලි ය.ලබන වසරේදී බොහෝ විට මේ නිලධාරිනියන්ට ස්ථිර ලෙස නියෝජ්‍ය පොලිස්පති ධුර සඳහා පත්වීම් ලැබෙනු ඇත. සැබෑ ලෙසම මෙම නිලධාරීන් ඉතිහාසගත වන්නේ එහිදී ය.

මේ නිලධාරිනියන් සිව්දෙනා අතර සිටින නිශානි සෙනෙවිරත්න වැඩිම කාලයක් සේවයේ නිරතව සිට ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේ ය. ඇය නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලබන්නේය .මේ සුදුස්සාට සුදුසු තැන ලැබීමේ කාලය නොවේද ?

තමාලී පතිරාජ .

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required