/
/
title icon
ධර්ම යුද්ධය චිත්‍රපටය
ධර්ම යුද්ධය චිත්‍රපටය
Manjula Disanayaka
1 month ago
Share:
ධර්ම යුද්ධය චිත්‍රපටය

ලංකාවේ  බිහි වූ ඉතාමත් කෙටි කාලයකින් ප්‍රසිද්ධියට පත් වූ සිනමා නිර්මාණයක් ලෙසට ධර්ම යුද්ධය චිත්‍රපටය හඳුන්වා දිය හැකිය.මෙය 2017 දී සිංහල බසින් ධර්ම යුද්ධය ලෙස ප්‍රේක්ෂකයාට නැරඹීමට අවස්ථාව ලැබුනි. මේ සඳහා පාදක වූ මුල්ම චිත්‍රපටය ඉන්දියාවේ කේරළයේ දී ප්‍රථම වරට තිරගත වී බොක්ස් ඔෆිස් වාර්තා ලබා ගත් වසරේ හොදම චිත්‍රපටය බවට පත් විය.මෙම චිත්‍රපටය 2013 දී මලයාලම් බසින්ද, ඊට අමතරව තෙලිගු, මලයාලම්, දෙමළ, හින්දි භාෂාවෙන් ද ඉහත කී පරිදි 2017 දී සිංහල බසින් ධර්ම යුද්ධය යන නමින්ද මෙම චිත්‍රපටය විවිධ භාෂාවන් වලින් නිර්මාණය වූවකි.

මේ තරම් දුරකට මෙම චිත්‍රපටය සාර්ථක වීමට බලපාන ලද හේතුව විමසීමේදී බොහෝ විචාරකයන් හේතු දෙකක් පිලිබදව අවධානයට ලක් කරයි. එනම් මෙහි කතා සංකල්පය සහ චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වන රංගන ශිල්පීන්ගේ දක්ශතාවය යන හේතු දෙකයි. එය කෙසේ වුවත් මේ තුල මුල මැද අග එකිනෙකට සම්බන්ධ කතාන්දරයකින් යුක්ත වීම, චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය දක්වාම ප්‍රේක්ෂකයා තුල කුතුහලය දැනවීම, සහ කම්පනය ඇති කිරීම ආදී වූ මනෝභාවයන් රැසක් ඇති කිරීම තුලින් චිත්‍රපටය විකාශනය වන සමස්ත කාලය පුරවටම ප්‍රේක්ෂකයා කතාව තුල රදවා ගැනීමට නිර්මාණ කරුවා සමත් වී තිබේ.

මෙම චිත්‍රපටය තුල අන්තරගතය පිලිබදව අවධානය යොමු කිරීමේදී, ඉතාමත් සාදාරනව තම රැකියාව කරමින් තම පවුල නඩත්තු කරන පියෙක් සහ ආදරණීයව තම සැමියාට සලකන බිරිදක්,තම දෙමව්පියන්ට පන මෙන් ආදරය කරන දියණියන් දෙදෙනෙක්ගෙන් සමන්විත පව්ලක් වටා ගෙතුනු කතාවකි. ඊට අමතරව දේශපාලනය හා සම්බන්ධ මන්ත්‍රීවරියකගේ සල්ලාල පුත්‍රයෙක් විසින් රහසේ ලබා ගන්නා නිරුවත් වීඩියෝ පටයක් භාවිත කරමින් තර්ජනය කරමින් එම ශිෂ්‍යයාවගෙන් අයුතු ලෙස ලිංගික ප්‍රතිලාභ ලබා ගැනීමට උත්සාහ කිරීම කතාවෙහි ආරම්භයයි.තරුණයා ඉදිරියේ බැගෑපත් වන මවගෙන් තමාට දියණියගෙන් ලබා ගන්නට නොහැකි වූ දේ ඉල්ලීම නිසාවෙන් දියණිය විසින් මෙම තරුණයාට ප්‍රහාරයක් එල්ල කරයි. එයින් මරණයට පත් වන තරුනයා සැඟවීමට මෙම මව හා දියණිය විසින් කටයුතු කරයි. මේ සියල්ල පිලිබදව පියාට පැවසීම සමඟ පොලිසියෙන් ගැලවීමට කරන සැලසුම් අතරින් තම පවුල ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙන පියෙකු හා පව්ලක් වටා ගෙතුනු කතාවකි.මේ සියල්ල තුල ප්‍රේක්ෂකයාගේ අවධානය ඒකකාරීව තබා ගැනීමට සමත් වීම චිත්‍රපටය නිර්මාණය කිරීමෙහි නිරත වූ සියලු දෙනාගේම දක්ශතාවයකි.

මේ තුල මව්පිය දුදරු සම්බන්ධතාවය තුල ඇති සංවේදී අවස්ථා නිරූපනය, නීතිය සහ එය බලය මත වෙනස් වන ස්වරූපය, දාරක ප්‍රේමය, සත්‍ය අසත්‍ය, සාදාරනත්වය අසාධාරනතවය,ආදී මිනිස් හා සමාජීය ගැටලු රැසක් නිරූපනය කරන සිනමා කෘතියක් ලෙස මෙම චිත්‍රපටය හදුන්වා දිය හැකිය. මෙහිදී මේ සදහා රංගනයෙන් දායක වන ජැක්සන් ඇන්තනී (පියා - හරිස්චන්ද්‍ර), දිල්හානී අශෝකමාලා (මව- රානි), තිසුරි යුවනිකා ( වැඩිමහල් දියණිය - අවිනි), විනිමු වත්සදී - ( සවිනි), ධනුක -ගේන් යනාදී චරිත මෙන්ම පොලීසිය හා සම්බන්ධ වන අනෙකුත් සෙසු චරිත තමාගේ චරිතයට සාදාරනයක් එක කිරීමට උපරිම උත්සාහ ගෙන ඇත.

මෙම චිත්‍රපටය ප්‍රචාරය කිරීමේ දී ප්‍රධාන වගකීම ගෙන ඇත්තේ කැපිටල් මහරාජා සමාගමයි. ඔවුන් විසින් වසර ගනනාවක් තිස්සේ කල වැඩසටහන් වල වෙනසක් ඇති කරමින් ඔවුන් සිංහල සිනමාව හා ගනුදෙනු කිරීම ආරම්භ කර තිබේ. මෙහිදී මෙම ධර්ම යුද්ධය නම් වූ සිනමා කෘතියේ පූර්ණ මාධ්‍ය අනුග්‍රහය මෙම සමාගම භාර ගැනීමෙන් ද යම් යම් අවධානය යොමු කල හැකි කරුණු කිහිපයක් මතුවෙයි.

මෙම ධර්ම යුද්ධය චිත්‍රපටය පිලිබදව හදුනා ගැනීමේදී මෙය මාධ්‍ය විචාරයේ එන විවිධ ප්‍රවේශ ඔස්සේ විචාරයට ලක් කල හැකිය. ඒ අතරින් මාක්ස්වාදී, මනෝ විශ්ලේෂනවාදී, ස්ත්‍රීවාදී ප්‍රවේශයන්ට අනුව මෙම සිනමා කෘතිය විග්‍රහ කල හැකිය.

ඒ අනුව මෙහිදී ධර්ම යුද්ධය චිත්‍රපටය තුලදී මාක්ස්වාදී සංකල්පය කුමන ආකාරයකින් ක්‍රියාත්මක වන්නේද යන්න විග්‍රහ කිරීමේදී පහත සදහන් අවස්ථා වැදගත් වෙයි. මාක්ස්වාදී විග්‍රහය තුලින් කියැවෙන්නේ බලය, ධනය හා අධිපතීත්වය වැනි තත්වයන් කුමන ආකාරයකින් මාධ්‍ය සංදේශ තුල ගැබ් වී තිබෙන්නේ ද යන්න හා එය කුමන ආකාරයකින් මාධ්‍ය හරහා සමාජගත වන්නේද යන්නයි.ඒ අනුව මෙම සිනමා කෘතිය තුලදී හමුවන ප්‍රධාන පවුල් දෙක ධනය හා බලය යන සාධක දෙක අතින් ඉතාමත් පරස්පර පවුල් දෙකකි.

එමෙන්ම තවත් අවස්ථාවක් ලෙස ආර්ථිකය හා බලය මත නීතිය සාධාරනත්වය කුමන ආකාරයකින් ක්‍රියාත්මක වන්නේද යන්න මාධ්‍ය මගින් එය ග්‍රාහකයාට නිරූපනය කරන ආකාරය මෙම ධර්ම යුද්ධය සිනමා කෘතිය තුල අන්තරගත වෙයි.මෙහි ධනයෙන් හා බලයෙන් ඉහල සමාජ තත්වයක සිටින ශේන්ගේ පාර්ශවයට පොලිසියේ සහය සීමා රහිතව ලැබෙන අතර කිසිදු අවස්ථාවක මෙම ගැටලුවට මුහුණදුන් තරුණියගේ පාර්ශවයෙන් කටයුතු කිරීමට පොලීසිය උත්සාහ නොකරයි.බාහිර සමාජයේදී වුවද මෙම තත්වය ඒ ආකාරයෙන්ම සිදුවන අතර නීතිය හා සමාජ සාධාරනත්වය අඩු ආර්ථික මට්ටමක් සහිත පිරිසට ලැබෙන ප්‍රමාණය අඩු බව මේ තුලින් පෙන්වයි. ඒ බව මෙම කතාවෙහි එක් අවස්තාවක දී මෙම මරණය නිසාවෙන් තමන්ට කුමන ආකාරයේ තත්වයන්ට මුහුණ දීමට සිදුවෙයිද යන්න කතා කරන අවිනිගේ දෙමව්පියන් ගේ කතාබහ කරයි. එහිදී රානි විසින් ප්‍රකාශ කරන්නේ

රානි. " අපි පොලිසියට කිව්වොත් අපිට බේරෙන්න පුලුවන් වෙයිද?

හරිස්චන්ද්‍ර: පිස්සු කතා කියන්නෙපා. ඔය ශේන් කියන දරුවා ලොක්කෙක්ගෙ පුතෙක් කියල කිව්ව නේද පොලීසියට ගියොත් කවදාවත් අපිට නිදහසක් හම්බවෙන්නෙ නෑ. අපේ පව්ලම උන් විනාස කරල දායි.

යන සංවාදය තුලින් හොදින්ම ධනය හා බලය මත සමාජයේ නීතිය හා සාදාරනත්වය ක්‍රියාත්මක වන බව මාධ්‍ය හරහා පෙන්වීමට කටයුතු කරනු ලබයි.

එමෙන්ම පොලිසියේ නීතිය දේශපාලන බලය හා ධනය මත අසමබර වන ආකාරය මේ චිත්‍රපටය තුලින් නිරූපිතය. ඒ බව ශේන්ගේ මව තමාගේ දේශපාලන බලය යොදා ගනිමින් පොලිස් නිලධරින් තමාගේ දරුවා සොයා ගැනීමේ පරීක්ෂන වලට පවා සම්බන්ධ වෙයි. පොලිස් පරීක්ෂන පොලිසියට අවශ්‍ය ආකාරයට වඩා ශේන්ගේ මවට අවශ්‍ය ආකාරයට මෙහෙය වීම තුලින් ඒ බව පැහැදිලි වේ. එහිදී ශේන්ගේ මව එක් අවස්ථාවක දී ප්‍රකාශ කරනු ලබන්නේ,

" හැබැයි මේ කිසිම දෙයක් පොලිස් පොත්වල දැනම් ලියවෙන්න හොද නෑ."

ලෙස ප්‍රකාශ කරයි. එමෙන්ම තවත් අවස්ථාවකදී විමල් නමින් හඳුන්වන පොලිස් නිලධාරියා විසින් හරිස්චන්ද්‍ර සමඟ ඇති අමනාපය නිසා නිතර නිතර කියා සිටින්නේ

'' අඩංගුවට අරගෙන දෙකක් ගැහුවනම් හරි "

ලෙස ප්‍රකාශ කරයි. ඒ තුලින් නීතිය ක්‍රියාත්මක කරන පිරිස වුවද ධනය හා බලය මත ඒක පාර්ෂිකව කටයුතු කරන බවයි. එසේම ඒ සඳහා පිලිතුරු ලබා දෙන විශාකා මන්ත්‍රීතුමිය පවසන්නේ,

"තමුන් පොලිස් නිලධාරියෙක් නේද. මිනිස්සු ගෙන්නලා එහෙම ප්‍රශ්න කරන්න පුලුවන්ද ? මේ දැනුත් කරන්නේ වැරැද්දක්.''

ලෙස කරන ප්‍රකාශය තුලින් ඔවුන් සියලු දෙනාම දැනුවත්ව නීතිය හා පොලිස් නිලධාරීන් භාවිතා කරන බව නිරූපනය කරනු ලබයි. මෙහිදී මාධ්‍ය හරහා මෙම තත්වය සමාජගත කිරීමට දරන උත්සාහයක් ලෙස මෙම චිත්‍රපටය තුල අන්තර්ගත බොහෝ සිදුවීම් වලින් දැක ගත හැකිය.

එමෙන්ම මාක්ස්වාදී විග්‍රහය මෙන්ම මනෝ විශ්ලේශනවාදී විග්‍රහය හා සම්බන්ධව සාකච්ඡා කිරීමේදී ධර්ම යුද්ධය චිත්‍රපටයේ බොහෝ අවස්තාවන් වලින් එම ප්‍රවේශය හා සම්බන්ධ වන අවස්ථා නිරූපනය කිරීමට උත්සාහ කර තිබේ. මෙම මනෝ විශ්ලේශනවාදි ප්‍රවේශය තුලින් පෙන්වා දෙනු ලබන්නේ මාධ්‍ය සංදේශ තුලින් ග්‍රාහක මනසට කුමන ආකරයේ බලපෑමක් එල්ල කරන්නේද යන්න මෙම විග්‍රහය තුලින් නිරූපිතය. එය ධර්ම යුද්ධය චිත්‍රපටය තුල කුමන ආකාරයකින් නිරූපනය වන්නේද යන්න පහත ආකාරයට විශ්ලේශනය කල හැකිය.

චිත්‍රපටය පුරාවට කුතුහලය, ලිංගිකත්වය, දරු සෙනෙහස, කපටිකම, කේන්තිය ආදී වූ බොහෝ මනෝභාවයන් නිරූපනය කර තිබේ. ඒ අනුව ආසියානු කලාපයේ රටවල් වල පවත්නා සංස්කෘතික පරිසරය නිසාවෙන් ලිංගිකත්වය නුහුරු දෙයක් සමාජය විසින් නොපිලිගන්නා දෙයක් බවට පත්ව තිබේ. මේ නිසාවෙන් මානව සිත් වල උපදින එකී හැගීම් සපුරා ගැනීමට සමාජය, සංස්කෘතිය, සදාචාරය හාදාවක් වීම නිසාවෙන් එය වෙනත් ක්‍රියාමාර්ග වලින් සපුරා ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රථිපලයක් ලෙස මෙම කතාවෙහි ගැටලුව මතු වී තිබේ. මෙම චිත්‍රපටයෙහි සිටින අවිනි නම් තරුණියගෙන් ශේන් නම් තරුණයා ඉල්ලා සිටින්නේ තමා සමග ලිංගිකව සිටින්න කියායි. එය ප්‍රතික්ශේප කරන විට ඔහුට ඇතිවන කේන්තිය නිසාවෙන් තමා සතු වීඩියෝ පටය සමාජ මාධ්‍යට ප්‍රචාරය කරන බවට පවසයි. මෙවන් අවස්ථා බොහෝමයක් වර්ථමාන මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබයි. ඒ තුලින් තව තවත් මාධ්‍ය හරහා මෙම ලිංගිකත්වය වැනි කරනාව අරුම පුදුම දෙයක් බවට සමාජගත කිරීමට උත්සහ ගනී එවන් අවස්ථාවක් ලෙස මෙම ධර්ම යුද්ධය චිත්‍රපටය හදුන්වා දිය හැකිය.

එමෙන්ම මෙම කතාවෙහි නිරූපනය කරනු ලබන අනෙක් ප්‍රධානතම මනෝභාවය වන්නේ දරු සෙනෙහසයි. හරිස්‌ චන්ද්‍ර හා රානි යන දෙදෙනා තම දියනියන් දෙදෙනාට ගැටලුවක් ඇති නොවීමට වග බලා ගන්නේත්, ශේන්ගේ මව වන විශාකා සහ පියා විසින් තම ධනය හා බලය වුවද අනිසි ලෙස භාවිතයට ගනිමින් තම දරුවා සොයා ගැනීමට වෙහෙසෙන්නේද දරු සෙනෙහස නිසාවෙනි.එම මනෝභාවයන් ඕනෑම අයෙකු මව්පියන් වූ පසු ලැබීම මානව සිත්වල ස්භාවික ලක්ෂනයකි. මෙය සිග්මන් ෆොයිඩ් විසින් ඔහුගේ මනෝ විශ්ලේශන වාදය තුලින් මනාව පෙන්වා දී ඇත. මාධ්‍ය හරහා සමාජගත කරන පුද්ගල මනෝභාවයන් අතර මෙම දරු සෙනෙහස විශේෂ වෙයි.

එමෙන්ම තවත් මෙහිදී හදුනා ගත හැකි පුද්ගල මනෝභාවයක් ලෙස කේන්තිය හදුන්වා දිය හැකිය. මෙම කතාවෙහි මරනය සිදුවන්නේද කේන්තියෙහි ක්ෂනික ප්‍රථිපලයක් ලෙසට වන අතර ශේන්ගේ මව තම දරුවා නොමැති වීම නිසාවෙන් දාරක ස්නේහයද කැටි වූ කේන්තියකින් යුක්තව තම පුත්‍රයා සෙවීමට කටයුතු කරනු ලබයි.එය විශාකාගේ හැසිරීම් වලින් සහ හැගීම් ප්‍රකාශන වලින් මනාව නිරූපනය කර තිබේ.

මේ ආකාරයට මාධ්‍ය සංදේශ තුල පවත්නා මනෝ විශ්ලේශනවාදී මෙන්ම මාක්ස්වාදී විග්‍රහයන් පිලිබදව විස්තර කල හැකි අතර මෙම ධර්ම යුද්ධය කතාව පුරාවට මනාව නිරූපනය වන තවත් එක් විග්‍රහයක් ලෙස ස්ත්‍රීවාදී විග්‍රහය හදුන්වාදිය හැකිය. කාන්තාවට සමාජය තුල හා මාධ්‍ය තුල කුමන තත්වයක් ලැබෙන්නේ ද යන්න මෙහිදී විග්‍රහ කරනු ලබයි.

ඒ අනුව මෙම කතාවෙහි ප්‍රධන චරිත අතර එන රානි හා අවිනි යන මව හා දියණිය පත්වන අපහසුතාවය තුලින්ම මෙම ස්ත්‍රීවාදී ප්‍රවේශය පිලිබදව විග්‍රහ කල හැකිය. මෙහිදී කාන්තාව නම් චරිතය ලිංගික භාන්ඩයක් බවට පෙන්වීමක් කරන අතර ශේන් තම ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට මෙම තරුණිය යොදාගන්නේ ඒ නිසාවෙනි. මන්ද අතීතයේ සිටම කාන්තාව ලිංගික භාන්ඩයක් බවට බොහෝ අවස්ථා වලදී සමාජගත වූ අතර එය වර්ථමානය වන විට වුවද මාධ්‍ය හරහා නිරූපනය කිරීම බොහෝ අවස්ථා වලදී දක්නට ලැබේ. මෙය ද එහි එක් අවස්ථවක් ලෙස දැක්විය හැකිය. අවිනි නම් වු දියණියගෙන් ලබා ගත නොහැකි දේ මවගෙන් හෝ ලබා ගැනීමට උත්සාහ කරන්නේ ඇය මවක් ලෙස නොව තමට ලිංගික අවශ්‍යතා සපුරා ගත හැකි ලිංගික භාන්ඩයක් ලෙස පෙනීම නිසාවෙනි.

එමෙන්ම තවත් අවස්ථවක් ලෙස කාන්තාවට සමාජයේ ලැබී ඇති තත්වයද මාධ්‍ය හරහා මෙම ප්‍රවේශය යටතේ නිරූපනය වේ. එහිදී කාන්තාව යම් තරමකට පුරුෂයකු යටතේ ජීවත් විය යුතු බවත් ඇයගේ ගරුත්වයට යම් හානියක් සිදු වුවහොත් සමාජයෙන් විවිධ අපවාද අවලාද එල්ල වන බවත් මාධ්‍ය හර හා නිරූපනය කරයි. එහි එක් අවස්ථවක් ලෙස ධර්ම යුද්ධය සිනමා කෘතිය හරහා තව තවත් සමාජගත කරනු ලබයි. මේ හේතුව නිසාවෙන් හරිස්චන්ද්‍ර විසින් හා රානි විසින් තම දියණියන් දෙදෙනා සමාජයේ වැරදිකරුවන් ලෙස හංවඩු ගැසීමට අවස්ථාව ලබා නොදීමට උත්සාහ දරයි. මන්ද පුරුෂයකුට සාපේක්ෂව ගැහැණියක් සමාජයේ වැරදිකරුවෙකු වූ විට එයින් කාන්තාවට ඉතාමත් කටුක තත්වයකට මුහුණ දීමට සිදු වෙයි.

මේ සියල්ලට අමතරව මෙම ධර්ම යුද්ධය චිත්‍රපටය තුල හමුවන ප්‍රධාන චරිතය වන හස්වන්ද්‍ර සිනමාවට ඉතාමත් ඇලුම් කරන පුද්ගලයකු ලෙස නිරූපනය කරයි.ඔහු නිතරම චිත්‍රපට නරඹන අයෙකු වන අතර ඒ තුලින් ලබාගත් බොහෝ දේවල් තුලින් තම ජීවිතය හැඩ ගස්වා ගැනීමට හා මෙම කතාවෙහි සිදුවන මරණය පවා වසන් කිරීමට ඔහු එම චිත්‍රපට තුලින් ලබාගත් දේවල් ඔහුට උපකාරී වූ බව පෙන්වයි. ඒ අනුව මාධ්‍යක් තුලින් තවත් මාධ්‍යක් පිලිබදව පෙන්වයි. එය අනෙක් චිත්‍රපට වලින් මෙය වෙනස් වීමට තිබූ එක් විශේෂත්වයක් වේ.මේ ආකාරයට මාධ්‍ය විචාරය තුල අන්තරගත වන මාධ්‍ය විචාර ප්‍රවේශ ධර්ම යුද්ධය චිත්‍රපටය තුලින් හදුන්වා දිය හැකිය.

මංජුලා දිසානායක.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required