
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා සහභාගි වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රියේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
එමෙන්ම එරට මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන මහත්ම මහත්මීන් මෙහි දී හමු වී තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර පැවැත් වූ හමුවේ දී මෙරට ආර්ථික පුනරදයක් ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ වැඩි අවධානයට ලක්ව තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහාය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළකරන බව ද ජයිශංකර් මහතා ජනාධිපතිවරයා හමුවේ පවසා තිබෙනවා.
මීට අමතරව ධීවර කර්මාන්තය සහ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීම ඇතුළු අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකර ඇති බව සඳහන්.
මේ අතර ජනාධිපතිවරයා සහ නිර්මලා සීතා රාමන් මහත්මිය අතර පැවැත් වූ සාකච්ඡාවේ දී ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවාගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම ඉන්දියානුවන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.
මෙම සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා පවත්වා තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි සඳන් වන්නේ.