
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, ඒ අනුව ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම දක්වා ශක්තිමත් වී ඇති බවයි.
පසුගිය සමයේ ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික කඩාවැටීම හමුවේ ඉකුත් 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට පැවති රජය තීරණය කළා.
ඒ අනුව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතන කිහිපයක්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත් බව ප්‍රකාශ කරමින් අවස්ථා කිහිපයකදීම ණය ගෙවීමේ හැකියාව පහත හෙළනු ලැබුවා.
ඉන් අනතුරුව මෙම තත්ත්වයෙන් මිදීම සඳහා ලක්රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක් සඳහා අවතීර්ණ වුණා.
ඒ අනුව මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කෙරුණු අතර පසුගිය සතියේ ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීම මත පදනම්ව අමෙරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රි ලංකාවේ දිගුකාලීන විදෙස් විනිමය නිකුතුව ශ්‍රේණිගත කිරීම RD මට්ටම, එනම් ණය පැහැර හරින ලද රාජ්‍යයක් යන මට්ටමේ සිට, CCC PLUS මට්ටම, එනම් ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම දක්වා පැමිණ තිබෙනවා.
එමෙන්ම දේශීය විනිමය නිකුතු ණය ශ්‍රේණියද ඉහළ දමා ඇත්තේ CCC MINUS මට්ටම, එනම් ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය වැඩි මට්ටමේ සිට CCC PLUS මට්ටම, එනම් ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම දක්වායි.