
පසුගිය 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළ ම දායකත්වය ලබා දීමට බස්නාහිර පළාත සමත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ එහි අගය 43.7%ක් වන බවයි.
කෙසේ නමුත් එම දායකත්වය පෙර වසර හා සසඳන විට සුළු අඩුවීමක් පෙන්නුම් කර ඇති බව ද එහි සඳහන් වනවා.
බස්නාහිර පළාත තුළ මෙම දායකත්වය සඳහා සේවා සහ කර්මාන්ත අංශ කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබෙනවා.
මේ අතර සමස්ත දළ දේශීය නිෂ්පාදනය සඳහා දෙවන සහ තෙවන ඉහළ ම දායකත්වය ලබා දීමට වයඹ සහ මධ්‍යම පළාත් සමත් ව තිබෙනවා.
ඒ අනුව වයඹ පළාත 10.9%ක් ද, මධ්‍යඹ පළාත 10.3%ක් ලෙස ද එහි දී දායකත්වය ලබා දී තිබෙනවා.
මහ බැංකුව පැවසුවේ බස්නාහිර පළාතේ දායකත්වය සුළු අඩු වීමක් පෙන්නුම් කළ ද 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී මධ්‍යම, උතුරු මැද, උතුරු හා දකුණු පළාත්වලින් දක්වන ලද දායකත්වය සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවයි.
තවද පෙර වසරට සාපේක්ෂව අඩු වේගයකින් වුව ද සියලු ම පළාත්වල නාමික දළ දේශීය නිශ්පාදනය 2023 වසරේ දී වර්ධනය වී තිබෙනවා.
ආර්ථික කටයුතු සඳහා පළාත් මගින් ලබා දී ඇති දායකත්වය අනුව කෘෂිකාර්මික කටයුතුවල දී වයඹ පළාත තවදුරටත් ඉහළ ම දායකත්වය ලබා දී ඇති අතර එහි අගය 19.6%ක් වනවා.
දකුණු පළාත 13.5%ක් ද, මධ්‍යඹ 12.4%ක් ද වශයෙන් පළාත් පිළිවෙළින් දෙවන සහ තුන්වන ඉහළ ම දායකත්වය ලබා දී තිබෙනවා.
මේ අතර 2023 වසරේ දී කර්මාන්ත ක්‍රියාකාරකම්වල ප්‍රමුඛත්වය තවදුරටත් බස්නාහිර පළාත දක්වා ඇති අතර එහි අගය 48.7%ක්.
ඒ සඳහා සමස්ත කර්මාන්ත නිමැවුමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දායක වී තිබෙනවා.
එමෙන් ම වයඹ 12.3%ක් සහ මධ්‍යම 9.3%ක් ලෙස පළාත් සමස්ත කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා ඊලඟ ඉහළ ම දායකත්වය වාර්තා කර තිබෙනවා.
සේවා අංශයේ ක්‍රියාකාරිත්වය අනුව ද බස්නාහිර පළාත ඉදිරියෙන් පසුවන අතර එහි අගය 45.9%ක් වනවා.
දෙවැනුව මධ්‍යම පළාත 10.4%ක දායකත්වයක් ලබා දී ඇති අතර දකුණු පළාත 9.9%ක දායකත්වයක් ලබා දී තිබෙනවා.
එමෙන් ම පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 27,630ක් බව ද මහ බැංකුව විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වනවා.