
දකුණු කොරියාවේ සිදු වූ ගුවන් යානා අනතුරින් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් හැර අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට බලධාරීන් සනාථ කර තිබෙනවා.
යානය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 175 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු එහි සිට තිබුණා.
මියගිය පිරිස අතරින් මේ වන විට කාන්තා සිරුරු 85ක්, පිරිමි සිරුරු 84 ක් සහ ක්ෂණිකව හඳුනා ගත නොහැකි තවත් 10 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
අනතුරින් මියගිය පුද්ගලයින්ගෙන් පස්දෙනෙකු වයස අවුරුදු 10 ට අඩු ළමුන් බව වාර්තා වනවා.
බලධාරීන් පවසන පරිදි ළාබාල ම මගියා තුන් හැවිරිදි පිරිමි ළමයෙකු වන අතර වැඩිමහල් පුද්ගලයා 78 හැවිරිදි පුද්ගලයකු වනවා.
අනතුරින් මියගිය බහුතරය දකුණු කොරියානු ජාතිකයින් වන අතර තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වන බවයි සඳහන් වන්නේ.
යානය අනතුරට ලක්වූ ස්ථානය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙන අතර එම කටයුතු සඳහා 1,500කට අධික සේවකයින් පිරිසක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් කරමින් තිබූ ජේජු ගුවන්සේවයට අයත් අදාළ යානය ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට යාමේ දී මෙලෙස අනතුරට පත්ව තිබුණා.
අයහපත් කාලගුණ තත්ත්වය හා යානයේ කුරුල්ලන් ගැටීම හේතුවෙන් එය ගොඩබස්වන විට රෝද ක්‍රියාත්මක නොවීම අනතුරට හේතුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ධාවන පථයේ ඇදී ගිය යානය තාප්පයක ගැටී ගිනිගෙන තිබෙනවා.
යානයේ කළු පෙට්ටියේ පියාසර දත්ත සහ නියමු කුටියේ හඬ පටිගත කිරීම් ලබාගෙන ඇති අතර මේ වන විට විශේෂඥයින් විසින් ඒවා පරීක්ෂා කරනු ලබන බව වාර්තා වනවා.
දකුණු කොරියානු ඉතිහාසයේ දරුණුත ම ගුවන් අනතුරක් ලෙස සැලකෙන මෙම අනතුර හේතුවෙන් එරට රජය විසින් දින 07ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමෙන් ම අනතුර සම්බන්ධයෙන් රටවල් රැසක නායකයින් ද දකුණු කොරියානු රජය වෙත සිය කණගාටුව පළ කර තිබුණා.
