/
/
title icon
Global Eye - දකුණු කොරියාවේ සිදු වූ දරුණුත ම ගුවන් අනතුර
Global Eye - දකුණු කොරියාවේ සිදු වූ දරුණුත ම ගුවන් අනතුර
Presila Sandaruwani
1 week ago
Share:
Global Eye - දකුණු කොරියාවේ සිදු වූ දරුණුත ම ගුවන් අනතුර

මෙම ගුවන් යානා අනතුර මේ සතිය පුරාවට දැඩි ලෙස කතා බහට ලක් වූ පුවතක් විය. ඒ දකුණු කොරියා ඉතිහාසයෙන් වාර්තා වූ පුද්ගලයින් 179කුට සිය ජීවිත අහිමි කළ දරුණුත ම ගුවන් යානා අනතුර මෙය වූ බැවිනි. මෙම සිදුවීම දෙසැම්බර් 29 ඉරිදා උදෑසන මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී සිදු විය.

7655c7abd5d61715be9b09891d3afd93.jpg

 

ගුවන් යානය

Flight 7C2216 යනු කොරියාවේ Jeju Air විසින් මෙහෙයවන ලද Boeing 737-800 යානයකි. Jeju Air යනු දකුණු කොරියාවේ අඩු වියදම් ගමන් කළ හැකි ගුවන් සේවයක් වන අතර මෙය සාමාන්‍යයෙන් කෙටි සිට මධ්‍යම දුරක් දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබයි. 7C පියාසැරි කේතය ගත් කළ එය, සාමාන්‍යයෙන් දකුණු කොරියාවේ සිට දේශීය හෝ කලාපීය ගුවන් ගමන් සංකේතවත් කරනු ලබයි. මෙම යානයේ 2x CFM 56 - 7B26 මාදිලියේ එන්ජින් දෙකක් ඇත. දිග මීටර 39.5ක් වන මෙහි උස මීටර් 12.5 වන අතර පළල, එනම් පියාපත් යුගලය අතර පරතරය මීටර 35.8 කි. උපරිම ගුවන්ගත කිරීමේ බර 79,000 kg ක් වේ. ආසන 189ක් ඇති මෙම ගුවන් යානයේ පිටවීම සඳහා පිවිසීමේ දොරටුව හැරෙන්නට තවත් දොරටු දෙකක් පවති. යාත්‍රා කිරීමේ වේගය ගත් කළ පැයට කිලෝමීටර 840 (පැයට සැතපුම් 522)ක වේගයක් සතු වන අතර පරාසය ආසන්න වශයෙන් 5,435 km (3,380 සැතපුම්) කි.

ගුවන් ගමන

යානයේ මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු මෙම ගුවන් යානයේ ගමන් කර ඇත. මගීන්ගෙන් දෙදෙනෙකු තායිලන්ත ජාතිකයින් වන අතර අනෙක් අය දකුණු කොරියානුවන් බවට විශ්වාස කරන බව බලධාරීහු පවසති. බොහෝ දෙනෙක් තායිලන්තයේ නත්තල් නිවාඩුවක් ගත කර ආපසු පැමිණෙන්නට ඇතැයි සැලකේ. මියගිය පුද්ගලයින්ගෙන් පස් දෙනෙකු වයස අවුරුදු 10 ට අඩු ළමුන් වේ. ලාබාල ම මගියා තුන් හැවිරිදි පිරිමි ළමයෙකු වන අතර වැඩිමහල් පුද්ගලයා 78 හැවිරිදි වියේ පසුවන බව මගී ප්‍රකාශය උපුටා දක්වමින් බලධාරීහු ප්‍රකාශ කර සිටියහ. මේ වන විට බලධාරීන් සිරුරු 174ක් හඳුනාගෙන ඇති අතර ඉතිරි පහ DNA නොගැලපීම් හේතුවෙන් තවමත් පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වේ.

අනතුරට පෙර

තායිලන්තයේ බැංකොක් නුවර සිට ආපසු එමින් තිබූ මෙම යානයට, ගුවන් ගමනාගමන පාලනය විසින් මුආන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට 08:54 ට (23:54 GMT) ගොඩබෑමට අවසර දී ඇත. ඒ එම ප්‍රදේශයේ කුරුල්ලන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට මිනිත්තු තුනකට පෙරයි. 

වේලාව 08:59 ට ගුවන් නියමුවා "mayday mayday mayday" සහ "bird strike, bird strike, go-around" ප්‍රකාශ කරමින් යානය කුරුල්ලෙකුගේ ගැටුණු බව වාර්තා කර තිබුණි. පසුව නියමුවා මුල් ගොඩබෑම නවතා දමා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගොඩබෑමට අවසර ඉල්ලා ඇත.

ගුවන් ගමනාගමන පාලක විසින් විකල්ප ගොඩබෑම සඳහා අවසර දුන්නේ 09:01 ට ය. 09:02 ට ගුවන් යානය පොළව හා සම්බන්ධ වූ අතර, දළ වශයෙන් මීටර් 2,800 ධාවන පථයේ අඩක් පමණ පහළට පැමිණ තිබුණි.

අනතුර

ගුවන් යානය එහි රෝද හෝ වෙනත් ගොඩබෑමේ ආම්පන්නයක් භාවිතා නොකර බව නිරීක්ෂණය වී තිබුණි. කෙසේ නමුත් ගුවන් යානය ධාවන පථයෙන් පහළට ලිස්සා, උඩින් ගොස් කොන්ක්‍රීට් තාප්පයක ගැටී, ගිනිගෙන පුපුරා ගියේය. මෙම සිදුවීම සම්බන්ධව එක් සාක්ෂිකරුවෙකු දකුණු කොරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන යොන්හැප් වෙත පවසා ඇත්තේ ඔවුන්ට "ලොකු පිපිරුමක්" සහ "පිපිරුම් මාලාවක්" ඇසුණු බවයි.

8b4d6f4238ab39e17719d16f8a21870f.jpg

 

අනතුරෙන් අනතුරුව

මෙම අනතුර සම්බන්ධ වීඩියෝ පට නිරීක්ෂණයේ දී දැක්වෙන්නේ ගුවන් යානය දුමාරයෙන් අහසට නැඟෙන ආකාරයයි. සුන් බුන් විශාල ප්‍රමාණයක් සමඟ ජිවීත 179ක් ඒ වන විට ලොවට අහිමිව තිබුණි. ගිනි නිවන සේවකයින් 490ක් සහ පොලිස් නිලධාරීන් 455 ක් ඇතුළුව, ප්‍රතිසාධන ප්‍රයත්නවල කොටසක් ලෙස හදිසි සේවකයින් 1,500 කට වැඩි පිරිසක් මෙම අනතුරේ දී ක්‍රියාත්මක වී තුබුණි. ඒ අනුව කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට සිය දිවි බේරා ගැනීමට වාසනාව හිමි වී තිබුණි. දිවි ගලවා ගත් දෙදෙනෙකුගෙන් පළමුවැන්නා 09:23 ට පමණ අනතුරෙන් ගලවා ගත් අතර දෙවැන්නා 09:50 ට පමණ ගුවන් යානයේ වලිගය වන් කොටසෙහි ඇතුළත සිට බේරා ගෙන ඇත. 

cc0f80ed2c7f9cc26153771577c8f4af.jpg

 

කුරුල්ලෙකුගේ පහරක් ගුවන් යානයක් කඩා වැටීමට හේතු විය හැකිද?

මුආන් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Lee Jeong-hyun රූපවාහිනී සාකච්ඡාවක දී පැවසුවේ කුරුල්ලන්ගේ පහරක් සහ අයහපත් කාලගුණය මෙම අනතුරට හේතු වන්නට ඇති බවයි. නමුත් නිශ්චිත හේතුව තවමත් හෙළි වී නොමැත. යානයේ තිබූ පියාසැරිය සහ හඬ පටිගත කිරීමේ යන්ත්‍ර නැවත ලබා ගෙන ඇතත්, එම වාර්තා පවසන්නේ කලින් යානයට හානි වී ඇති බවත්, උපාංගවල දත්ත විකේතනය කිරීමට මාසයක් පමණ ගත විය හැකි බවත්ය. ගුවන් යානයේ සිටි එක් මගියෙකු අනතුරට පෙර ඥාතියෙකුට පණිවිඩයක් යවමින් පවසා තිබුණේ ‘කුරුල්ලෙකු ගුවන් යානා පියාපතේ සිරවී ඇති බවත් යානය ගොඩබෑමට නොහැකි වූ බවත්’ ය. කෙසේ වෙතත්, යානය ඇත්ත වශයෙන් ම කිසියම් කුරුල්ලෙකු සමඟ ගැටී ඇත් ද යන්න බලධාරීන් තවමත් තහවුරු කර නොමැත.

Jeju Air හි කළමනාකාරීත්වයේ ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ මෙම අනතුර කිසිදු නඩත්තු ගැටලුවක් නිසා සිදු වූවක් නොවන බවයි. දකුණු කොරියානු ප්‍රවාහන දෙපාර්තමේන්තුව දක්වා සිටියේ, ගුවන් යානයේ ප්‍රධාන නියමුවා 2019 වසරේ සිට එම කාර්ය භාරය ඉටු කර ඇති අතර ඔහුට පැය 6,800 කට වැඩි ගුවන් ගමන් අත්දැකීමක් ඇති බවයි. 

ජෙජු එයාර්හි අදහස්

අනතුර සිදු වූ දිනයේ යානය පරීක්ෂා කිරීමේ දී යානයේ කිසිදු ගැටළුවක් මතු නොවූ බවත් ගුවන් සමාගම ගුවන් ගමනට පෙර සහ පසු කාලගුණය නිරීක්ෂණය ද සිදු කළ බව Kim Yi-bae මහතා සඳහන් කර තිබුණි. ජෙජු එයාර් සමාගම වින්දිතයන්ගේ පවුල්වලින් සමාව ඉල්ලා ඇති අතර හදිසි වන්දි ලබා දීමට සහ අවමංගල්‍ය වියදම් පියවා දීමට ද පොරොන්දු වී තිබේ. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කර සිටියේ ගුවන් සමාගමට අනතුරු පිළිබඳ ඉතිහාසයක් නොමැති බවත්, එය 2005 දී දියත් කළ දා සිට ඉරිදා සිදු වූ ගුවන් අනතුර එහි එක ම මාරාන්තික අනතුර බව විශ්වාස කරන බවත් ය.

6aca1653e5a78897b00197eefa76ed4c.jpg

 

කොරියානු රජයේ වැඩපිළිවෙළ

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති Choi Sang-mok විසින් රටේ සමස්ත ගුවන් සේවා මෙහෙයුම්වල හදිසි ආරක්‍ෂිත පරීක්‍ෂණයක් කරන ලෙස නියෝග කර ඇති අතර එය ජනවාරි 3 වනදා වන විට අවසන් කිරීමට නියමිතව විය. මුආන් විශේෂ ආපදා කලාපයක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති අතර එමඟින් මධ්‍යම රජයේ අරමුදල්, පළාත් පාලන ආයතනවලට සහ වින්දිතයින්ට ලබා ගත හැකිය. මුආන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සහ ඉන් පිටවන සියලු ම ගුවන් ගමන් අවලංගු කර ඇති අතර ගුවන් තොටුපළ ජනවාරි 7 දක්වා වසා ඇත. මේ වන විට දින හතක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, රටේ අලුත් අවුරුදු දින සැමරුම් අවලංගු කිරීමට හෝ එම දින අඩු කිරීමට එම රජය පියවර ගැනීමට ද ඉඩ තිබේ.

කෙසේවෙතත් 2024 වසර අවසානයේ මුලු ලොවක් සලිත කළ මෙම ගුවන් ගමන දකුණු කොරියානුවන්ට පමණක් නොව මුලු මහත් ලෝකයට ම අමතක කළ නොහැකි කේදනීය මතකයක් වනු ඇත. එමෙන් ම යලි මෙසේ අනාගතයේ දී කිසිදු ගුවන් අනතුරක් වාර්තා නොවන්නට ගුවන් යානා නිර්මාණකරුවන් සිය තාක්ෂණික හා තාර්කික දැනුම යොදා ගනු ඇති බවට අපට විශ්වාසය තැබිය හැක.

 

සැකසුම හා සංස්කරණය - ප්‍රසිලා සඳරුවනි

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required