බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.
පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර අද පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට පැමිණ තිබෙනවා.
මෙම සාකච්ඡාවේදී පොලිස්පතිවරයා පවසා ඇත්තේ රටක මාර්ග විනය යනු රටක තත්ත්වය පිළිබඳ මිනුම් දණ්ඩයක් බවයි.
ඒ අනුව දේශපාලන අතගැසීම්වලින් තොරව මේ වනවිට මාර්ග විනය සකස්කිරීමේ ක්‍රියාවලිය සඳහා පවත්නා නීති උපයෝගී කරගෙන මෙහෙයුම් සිදුකරන බව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම මෙම මෙහෙයුම් හේතුවෙන් දිනකට මාරක රිය අනතුරු වාර්තාවීම් 4ක් හෝ 5ක් දක්වා අඩුව ඇති බවත්, අනෙකුත් රිය අනතුරු ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් පවසා ඇති බව සඳහන්.
මේ අතර මෙම සාකච්ඡාවේදී බස් සංගම් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලීසියේ නිලධාරීන් බස්රථ තුළට නංවා බස්රථ රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් ක්‍රියාකිරීම හැකිතාක් සීමාකරන ලෙසයි.
එහිදී පොලිස්පතිවරයා පවසා ඇත්තේ, මෙම ක්‍රියාවලිය මහජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට තවදුරටත් සිදුකරන බවයි.