ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවේදීයී.
ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේනය කළේ.
එමෙන්ම, වරාය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන නමුත් මෙම අවස්ථාවේදී පවතින තත්ත්වය නිරාකරණය සඳහා සියලුදෙනා එක්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
මේ අතර, ජනාධිපති උපදෙස් පරිදි මෙම අවස්ථාවේදී උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක අතරම එකඟතාවයන් ඇති කරගෙන තිබෙනවා.
ආනයනික බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරමින් පවතින තත්ත්වය නිරාකරණය සඳහා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සතියේ දින 07 ම පැය 24ම රාජකාරි කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.